ඇමෙරිකානු ඩොලර් මිලියන 480 ක එම්.සී.සී. ආධාර ප්‍රදානය අත්හිටුවීමට තීරණය කළ ද, ශ්‍රී ලංකාවේ මිතුරෙකු සහ හවුල්කරුවෙකු ලෙස තවදුරටත් කටයුතු කරන බව ඇමෙරිකා එක්සත් ජනපදය පවසනවා.
අමෙරිකානු සහශ්‍ර අභියෝගතා සංවර්ධන වැඩසටහන හෙවත් එම්.සී.සී. වැඩසටහන ශ්‍රී ලංකාව සඳහා යෝජිත වැඩසටහන අත්හිටුවීමට තීරණය කළේ වොෂින්ටනයේදී ඊයේ පැවති එහි පාලක මණ්ඩල රැස්වීමේදීයි.
එහිදී ඉදිරි පස් වසර සඳහා සිය ආධාර වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු නව රටවල්ද ප්‍රකාශයට පත් කෙරුණා.
ඒ අනුව අප්‍රිකානු සියෙරා ලියොන් සහ පැසිෆික් සාගරයේ පිහිටි කුඩා දිවයිනක් වන කිරිබතී රාජ්‍යය එම්.සී.සී. නව ආධාර වැඩසටහන සඳහා තෝරාගෙන තිබෙනවා.
කෙසේ නමුත්, කොළඹ එක්සත් ජනපද කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ කොරෝනා වෛරස් ගෝලීය වසංගතයට ප්‍රතිචාර දැක්වීමේදී සහ මෙරට ආර්ථිකය ගොඩනැංවීමේදී ඉදිරියටත් අඛන්ඩව ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන බවයි.
දුප්පත්කම දුරුකොට ආයෝජන තුළින් ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සිය අරමුණ බවයි එම්.සී.සී. වැඩසටහන සඳහන් කරන්නේ.
නව රටවල් සමඟ තිරසාර ආර්ථික සංවර්ධනය තුළින් එම රටවල වැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා කැපවන බව එම්.සී.සී. ප්‍රධාන විධායක නිලධාරී ෂෝන් කේන් ක්‍රොස් ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකාව සමඟ යෝජිත සංයුක්ත වැඩසටහන තවදුරටත් ඉදිරියට රැගෙන නොයන බවයි සිය රැස්වීම අවසානයේ එම්.සී.සී. අධ්‍යක්ෂ මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
හවුල්කාර රටක් ලෙස ශ්‍රි ලංකාවේ සම්බන්ධවීම අඩු බව හේතුකොට ගෙන මෙරටට ලබාදීමට යෝජනා වී තිබූ ඩොලර් මිලියන 480 ක එනම්, රුපියල් බිලියන 89 ක් පමණ වන සංවර්ධන ආධාර ප්‍රදානය නතර කල බව කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා.
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හි පර්යන්ත වැඩසටහනට ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබුවේ 2015 වසරේදීයි.
2016 වසරේදී එහි සංයුක්ත වැඩසටහන සඳහා ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබූ අතර, 2017 වසරේදී ඊට අදාළ ව්‍යාපෘති යෝජනා ශ්‍රී ලංකාව විසින් එම්.සී.සී. ආයතනය වෙත ඉදිරිපත් කළා.
2018 වසරේදී එම්.සී.සී. කළමනාකාරිත්වය ශ්‍රී ලංකාව විසින් ලබා දුන් ව්‍යාපෘති යෝජනා අනුමත කළ අතර, 2019 වසරේදී එහි පාලක මණ්ඩලය ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 480 ක් ලබාදීම සඳහා වූ ප්‍රදාන ගිවිසුම අනුමත කරනු ලැබුවා.
2019 වසරේදීම අමාත්‍ය මණ්ඩලය විසින් එම්.සී.සී. ගිවිසුම අනුමත කළ අතර, එහි ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡාවක් මේ වසර මුලදී පවත්වනු ලැබුවා.
එලෙස, එම්.සී.සී. ආධාර ගිවිසුමේ අවසන් අදියරට පැමිණ තිබියදී මෙලෙස එය අත්හිටුවීමට එම්.සී.සී. පාලක මණ්ඩලය තීරණය කර ඇත්තේ.