සචිත්‍ර වීරසේකර කියන්නේ දන්න හඳුනන නමක්වත්, රූපයක්වත් නෙමෙයි. නමුත් මේ දිනවල බොහෝ දෙනෙකුගේ අවධානය ඔහු වෙත යොමු වෙලා තිබෙනවා. ඊට හේතුව ඔහුගේ ආදරණිය පියාණන් වූ මහජන ආරක්ෂක අමාත්‍ය රියාද් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකරයන්ගේ ආදරණිය පුතු බව සමාජය දැනගත් නිසයි. පියාගේ නව පදවියත් සමඟ ඒ එස් පී වෛද්‍ය පුතු පියාට ආචාර කිරීමේ ඡායාරූපයක් සමාජගත වීමත් සමඟින් හැමෝම සචිත්‍ර ගැන කතාබහ කරන්න පටන් අරගෙන. ඒ නිසා සච්ත්‍ර එක්ක ඔහු ගැනත් ආදරණිය ඇමති පියා ගැන කතා කරන්නත් ඔහුව සම්බන්ධ කරගත්තා. මේ ඔහු ගැනයි.
පියාගේ අලුත් පත්වීමත් එක්ක හැමෝම ඔබ ගැන කතා කරන්න පටන් අරගෙන, ඇමති තාත්තාට ඒඑස්පී පුතා ආචාර දක්වන ඡායාරූපයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්වීම ගැන ඔබ මොකද හිතන්නේ..?
තාත්තාගේ දේශපාලන වැඩ වලට මම උදව් කරලා තිබ්බාට කිසිදෙයක් ප්‍රසිද්ධියේ කළේ නැහැ. තාත්තාගේ අලුත් පත්වීම ලැබුණු මොහොතේ මම නිළ ඇඳුමෙන් හිටියේ. මම තාත්තාට ආචාර කළා. එය තමයි මාධ්‍ය ඔස්සේ පල වුණේ. ඒ ඡායාරූපය නිසා තමයි බොහෝ දෙනෙක් මම එතුමාගේ පුතා කියලා දැනගත්තේ. මට මම ගැන සතුටු වෙනවාට වඩා එතුමාගේ පුතා වීම ගැන මම ආඩම්බර වෙනවා නිහතමානිව. වසර 39ක් පමණ හමුදා සේවයේ ඉදලා හිටපු ජනාධිපති වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා යටතේ යුද්ධ අවසන් කරන්න සහයදුන් සෙන්පතියන් පස් දෙනා අතර ඉන්න රණවිරුවාගේ දරුවෙක් වීම මට සතුටක්. ඒ වගේම තාත්තාට නිල වශයෙන් ආචාර කරන්න ලැබීම, මගේ ළමා දිවියේ සිහිනයක් සැබෑවීමක්.
හැමෝම දැන් කතා කරන සචිත්‍ර, වෛද්‍යවරයෙක් හැටියටත් කටයුතු කරනවා, ඔබ ගැන වැඩි යමක් දැනගන්න බොහෝ දෙනෙක් කැමැත්තෙන් ඇති, ඒ නිසා ඔබ ගැන කිව්වොත්..?
මම කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලබලා උසස් අධ්‍යාපනය සඳහා නේපාලයට ගියා, එහේ මනිපාල් වෛද්‍ය විද්‍යාලයේ තමයි මම වෛද්‍ය උපාධිය සම්පුර්ණ කළේ. පසුව මම ලංකාවට ඇවිත් අම්පාර මහා රෝහලේ ප්‍රථම නේවාසික පුහුණුව ලබලා 2017 වර්ෂයේ පොලිස් සහකාර අධිකාරිවරයෙක් විදිහට පත්වීම් ලැබුවා. මේ වෙද්දී මම ශල්‍ය වෛද්‍ය සම්බන්ධයෙන් පශ්චාත් උපාධියට සුදානම් වෙනවා. ඉන්පස්සේ විශේෂඥ වෛද්‍යවරයෙක් හැටියට කටයුතු කරන්න තමයි බලාපොරොත්තුවෙන් ඉන්නේ.
ඔබ කලාවටත් සම්බන්ධයි නේද..?
පාසල් යන කාලේ මම තබ්ලා වාදනය කළා. 2001 වර්ෂයේ ලංකාවේ හිටපු ලාබාලම තබ්ලා විශාරදත් මම තමයි. ඒ වගේම ජාතික පාසල් වර්ණ - මළල ක්‍රීඩා තරගයෙන් කඩුලු පැනීමේ ඉසව්ව්වෙන් (110m ) මම ජයග්‍රහණය ලබාගෙන තිබෙනවා.. තාත්තා නිසා රංගනයට අවතීර්ණ වෙන්නත් අවස්ථාව ලැබුනා. ඔහු අධ්‍යක්ෂණය කරන දෙවැනි චිත්‍රපටය ශ්‍රි සිද්ධා චිත්‍රපටයට මගේ කුළුදුල් රංගන දායකත්වය ලබා දුන්නා. මම රඟපාන්නේ රක්ඛිතගේ චරිතය. ඒ වෙද්දී මම පොලිසියේ සේවය කල නිසා පොලිස්පතිතුමාගේ අවසරය අරගෙන තමයි ඊට සම්බන්ධ වුණේ. මොකද චරිතය වෙනුවෙන් මගේ සම්පුර්ණ ස්වරූපය වෙනස් කරන්න සිද්ධ වුන නිසා. ඒ චිත්‍රපටය ලබන වසරේ තිරගත වෙයි.
පියාගේ දශක හතරක යුධ හමුදා ජීවිතය එක්ක ඔබත් පවුලේ අයත් ඊට මුහුණ දීලා ඇති සාමාන්‍ය ජනතාවට වඩා..ඒ අත්දැකීම් ගැන කිව්වොත්..?
වසර 39යක් පුරා තාත්තා හමුදාවේ සේවය කළේ. මගේ අක්කා දැන් ඉන්නේ එංගලන්තයේ. ඇයත් මමත් අම්මත් හැමදාම හිටියේ බයෙන්. හමුදා සේවයේ ඉන්න හැමපවුලක් වගේම අපේ පවුලත් හිටියේ බයෙන්, තාත්තා ගැන අදටත් අපි ඉන්නේ බයෙන්. තාත්තාගේ මුළු ජිවිතයම කැප කරලා තියෙන්නේ රට වෙනුවෙන්. දැනටත් ජනතාව වෙනුවෙන් යමක් කරන්න උත්සහ කරනවා. යුද්ධය අවසන් වුනා කියලා ඒ බය අපෙන් තුරන් වෙලා නැහැ. 2016 වර්ෂයේ යුධ චෝදනා වෙනුවෙන් තනියම ජිනීවා ගියා තාත්තා. හරියට යුධ කටට ගියා වගේ හැගීමක් අපිට අවේ. තාත්තාගේ ජිවිතයට තිබෙන තර්ජන නිසා අපි අදටත් ඉන්නේ බයෙන්.
පියාගේ කාර්යබහුල ජිවිතේ එක්ක කුටුම්බය රැකගන්න ඔබේ මව වෙහෙස ගන්න ඇති..?
තාත්තා පිට පළාත් ඉන්නකොට අපි ජිවත් වුණේ කොළඹ. මාවයි අක්කවයි බලාගෙන අම්මා හැම යුතුකමක්ම ඉටු කළා. තාත්තාට නිදහසේ රැකියාවේ වැඩ කරන්න අවශ්‍ය පරිසරය අම්මා හදලා දුන්නා. තාත්තා පුළුවන් හැම මොහොතකම අපි ලඟින් හිටියා. තාත්තගේ අඩුව නොදැනෙන්න අපිව බලා ගත්තේ අම්මා. අපිව යහමගට ගෙන ගියේ අම්මා. අද අම්මා ස්නායු රෝගයකින් පෙලෙනවා. සැමියා ළඟ නැතුව කාලයක් ජිවත් වීම අම්මගේ රෝගයට හේතුවක් වෙනත් ඇති. අම්මා ඒ තරම්ම කැප කිරීමක් කළා තාත්තා රට වෙනුවෙන් කැප වෙද්දී.
හමුදා නීතිය ඉතා දැඩියි, ඒ නිතිය ඔබේ පියා ගෙදර පරිසරයට ආදේශ කළාද..?
කොහෙත්ම නැහැ. කවදාවත් කොන්ඩේ මෙහෙම කපන්න එපා, මේ විදිහට අඳින්න එපා, මෙහෙම ඉන්න, මේ දේවල් කරන්න එපා කියලා නීති දැම්මේ නැහැ. එතුමා හමුදා සේවයේ හිටියත් නියම තාත්තා කෙනෙක් විදිහට අපිට ආදරේ කරුණාව දුන්නා. අපිව හුරතල් කළා .වැරදි තැන ආදරෙන් පෙන්නලා දුන්නා. අවශ්‍ය තීරණ අරගෙන තියෙනවා. නමුත් හමුදා නීතිය ගේ ඇතුලට තාත්තා ගෙනාවේ නැහැ. අපි නිදහසේ ජිවත් වුනා. මම ඊට හොඳ උදාහරණයක් කියන්නම්. එතුමා හමුදා සේවයේ ඉන්නකොට එතුමාට නිවාඩු නිකේතන පහසුකම් ලැබිලා තියෙනවා. දැන් විශ්‍රමිකයිනේ. මම ඒ එස් පි වෙලා අම්මවයි තාත්තයි නුවරඑලිය නිවාඩු නිකේතනයකට එක්කගෙන ගියා. එය බුක් කළේ මගේ නමින්. මගේ නිලයට හරියන පහසුකම් ඊට ලැබුනා. රාත්‍රී බෝජන සංග්‍රහයේ ප්‍රධාන මෙසේ වාඩි වෙද්දී තාත්තා මට කිව්වා, මම දැන් විශ්‍රමිකයිනේ ඒ නිසා ඔයා තමයි දැන් මුලසුන ගන්න ඕන කියලා. එතුමා එතරම්ම නිහතමානී පුද්ගලයෙක්. එහෙම තාත්තා කෙනෙක් කොහෙත්ම හමුදා නිතිය ගේ ඇතුලට අරගෙන එන්නේ නැහැ.
ජනප්‍රිය පවුල් පසුබිමක් තියෙන නිසා සාමාන්‍ය ජිවිතයක් ගත කරන කෙනෙකුට වඩා ඉවසීමෙන් වැඩ කරන්න සිදු වෙනවා, පියාගේ ජනප්‍රියත්වය ඔබේ නිදහසට බලපාලා තියෙනවද..?
හැමදෙයකටම බලපාන්නේ පවුල් පසුබිම. අපි හැදී වැඩෙන ආකාරය. අපි කවදාවත් තාත්තාට අගෞරවයක් වෙන විදිහට හැසිරිලා නැත්තේ පවුලෙන් අපිට ලැබුණු පන්නරය නිසයි. ඒ නිසා තාත්තගේ පසුබිම අපේ නිදහසට කවදාවත් බාධාවක් වුනේ නැහැ.
පියා දේශපාලනයට අවතීර්ණ වුණා වගේ ඔබත් දේශපාලනයට අවතීර්ණ වෙනවද..?
පියාගේ අඩිපාරේ යන්න මමත් බලාපොරොත්තු වෙනවා. එය වගකීමක්. මම දේශපාලනයට අවතීර්ණ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. නමුත් දැන්ම නෙමෙයි. එයට තවම කාලයක් තීරණය කරලා නැහැ. සුදුසු කාලයේදී මම ඒ තීරණය ගන්නවා.