දාහතර හැවිරිදි තම එකම දියණිය මුදලට ගණිකා වෘත්තියේ යෙදවූ මවක් රිමාන්ඩ් කරන ලෙස මතුගම අතිරේක මහෙස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය නියෝග කර තිබෙනවා.
මීගහතැන්න, පොල්ගම්පොළ ප්‍රදේශයේ පදිංචි මෙම මව 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිය දැරිය රුපියල් 5,000ක මුදලට ගණිකා සේවයේ යොදවනු ලැබ ඇතැයි පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි සඳහන්.
දැරියගේ පියා ස්වයං රැකියාවක නිරත අතර සැකකාරිය කලක පටන් ගණිකා වෘත්තියේ යෙදී ඇති අතර ඇයට ලැබෙන මුදල රුපියල් 500-600 දක්වා පහත වැටීම නිසා තම එකම දියණිය රුපියල් 5,000ක් වැනි මුදලකට නිවෙසේදීම ගණිකා වෘත්තියේ යොදවා ඇතැයි පොලිසිය අධිකරණයට සඳහන් කළා.
මීගහතැන්න පොලිසිය මඟින් ප්‍රදේශයේ පාසල් දරුවන්ට ළමා අපයෝජන පිළිබඳ සම්මන්ත්‍රණ පවත්වමින් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති අතර මෙසේ අපයෝජනයට ලක්වූ දැරිය එම දැනුවත් වීමේ දේශනයකින් පසු මේ පිළිබඳව පන්තිභාර ගුරුතුමියට දන්වා තිබෙනවා.
ගුරුතුමිය අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිවාස හා ළමා රක්ෂක නිලධාරිවරයා මේ පිළිබඳව දැනුවත් කිරීමෙන් පසුව සැකකාරිය අත්අඩංගුවට ගනු ලැබුවා.
දැරිය පොලිසියට ප්‍රකාශ කර ඇති තොරතුරු අනුව වසරක පමණ කාලයක සිට ඇය මෙම අතවරයට ලක්ව තිබෙනවා.