කුමන තරාතිරමක ආර්ථික ප්‍රශ්න පවුලේ පැවතුණ ද ලිංගික ශ්‍රමය අලෙවි කරන රැකියාවට නම් නොපැමිණෙන ලෙස තමා වත්මන් සමාජයේ තරුණියන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින බව වසර දහයකට අධික කාලයක් ලිංගික ශ්‍රමය අන්‍යයන්ට අලෙවි කළ කාන්තාවක් පවසනවා.
නන්දා නම් වන ඇය මේ සම්බන්ධයෙන් පළ කරන ලද අදහස් පහතින් දැක්වෙනවා.
වයස අවුරුදු විස්‌ස ලැබීමටත් පෙර නව යොවුන් වියේදීම ලිංගික ශ්‍රමිකයකු බවට පත් වූ නන්දාට අනුව ලිංගික ශ්‍රමය අලෙවි කර කෙතරම් මුදලක් ඉපයුවද එය ලිංගික ශ්‍රමිකයාට මෙන්ම ඔවුනගේ දරුවන්ට ද අනාරක්‍ෂිත වූ රැකියාවකි. එච්. අයි. වී. ඒඩ්ස් ඇතුළු සමාජ රෝග වැළඳීම, අඩු වයසින් ගැබ් ගැනීම හා ප්‍රජනක රෝග තත්ත්වයන්ට මෙම රැකියාව හේතුවෙන් ලිංගික ශ්‍රමිකයා ගොදුරු විය හැකි බව තමා දැන් අවබෝධ කරගෙන සිටින බව ඇය සඳහන් කර සිටියාය.
තම සත් හැවිරිදි පුත්‍රයා පසෙකින් තබා ගෙන තමා ලිංගික ශ්‍රමිකයකු බවට පත් වීමට තුඩු දුන් කරුණු ඇතුළු ඒ හා බැඳුණු ජීවන තොරතුරු හෙළිදරව් කිරීම සඳහා මාධ්‍යයක් හා දොඩමළු වූ නන්දාට අනුව වසර දොළහකට පමණ පෙර ඇය ලිංගික ශ්‍රමිකයකු වශයෙන් කටයුතු කිරීම අතහැර දැමූයේ එය තමාට එපා වූ නිසාය.
සහෝදර සහෝදරියන් දොළොස් දෙනකුගෙන් යුතු වූ පවුලක බාලයා ලෙසින් උපත ලැබූ නන්දාගේ උපන් ගම පිහිටියේ දකුණු පළාතේය. ඇයගේ පියාට රැකියාවක් නොතිබුණු අතර මව කොළඹ පදික වේදිකාවක ලොතරැයි පත් අලෙවි කිරීමෙන් තම පවුල නඩත්තු කළාය.
පවුලේ ආර්ථික ප්‍රශ්න දැඩිව පැවැතීම හේතුවෙන් නන්දා පාසල් ගියේ පළමු ශ්‍රේණිය දක්‌වා පමණි. කොළඹ නගරයේ පිහිටි කුඩා නිවසක් මෙම පවුලේ වාසස්‌ථානය විය. නන්දාට අනුව පවුලේ අගහිඟකම් හේතුවෙන් මුලින්ම ලිංගික ශ්‍රමිකයකු බවට පත්ව ඇත්තේ ඇයගේ වැඩිමහල් සොයුරියකි.
පසුව ඇයගේ මඟ පෙන්වීමෙන් ලිංගික ශ්‍රමිකයකු බවට පත් වූ නන්දා වයස අවුරුදු 16 පමණ වන විට තරුණයකු හා පෙමින් වෙලී විවාහය ලියාපදිංචි කිරීම හේතුවෙන් බාල වයස්‌කාර විවාහයක් කර ගැනීමේ චෝදනාව මත පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
පොලිසිය මගින් ඇයව අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු ඇයව පුනරුත්ථාපනය සඳහා ගැලවීමේ හමුදා කාර්යාලය වෙත යවනු ලැබිණි.
එහි වසර දෙකක කාලයක් තැබීමෙන් අනතුරුව ඇයව පුනරුත්ථාපන නිවාසයකට මාරු කර යෑවිණි. එහි කෙටි කලක් ගත කළ ඇය පසුව මුදල් ඉපයීම සඳහා ලිංගික ශ්‍රමිකයකු වශයෙන් කටයුතු කළ බව නන්දා පවසන්නීය.
තම පවුලේ ආර්ථික ප්‍රශ්න හේතුවෙන් ලිංගික ශ්‍රමිකයකු බවට පත් වූ නන්දා වැඩි වශයෙන් තම රැකියාව කළේ කොළඹ නගරයේ වීථිවලය. දිනකට රුපියල් දහසක පමණ ආදායමක් ඇය තම රැකියාවෙන් උපයා ගත් බව කීවේය.
මෙයට වසර විස්‌සකට පමණ පෙර ලිංගික ශ්‍රමිකයන්ට අනවශ්‍ය ගැබ් ගැනීම් හෝ සමාජ රෝග පිළිබඳව නිසි දැනුමක් ලැබී නොතිබූ බව නන්දා කීවාය. මේ හේතුවෙන්ම ඇය වරක් ගැබ් ගැනීමකට ලක් විය. එහෙත් ඇය ලිස්‌සා වැටීම හේතුවෙන් එම දරු ගැබ ගබ්සා වී ඇත.
අනතුරුව ඇය ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ එක්‌තරා රජයේ රෝහලක ගබ්සා වීම මත හටගත් සංකූලතාවන්ට ප්‍රතිකාර ගත් අතර පවුලේ කිසිවකු හෝ හිත මිතුරකු තමාව බැලීම සඳහා රෝහලට නොපැමිණි බව නන්දා අප හා පැවසූයේ කනස්‌සලු ස්‌වරූපයෙනි.
රෝහලින් නික්‌ම ගිය පසුද ලිංගික ශ්‍රමිකයකු ලෙස කටයුතු කළ ඇය ඒ නිසාම පොලිස් අත්අඩංගුවට පත් වී ඇත. ඇයගේ ජීවන ගමන වෙනස් කරනු ලැබූ තැනැත්තා ඇයට හමු වනුයේ ද ලිංගික ශ්‍රමිකයකු ලෙස කටයුතු කරමින් සිටියදීය.
පොලිසියට සම්බන්ධ රැකියාවක නිරත වූ ඔහු නන්දාට වඩා වසර කිහිපයකින් වැඩිමහළු අයකු වූ අතර ඔහු හා පැවැති ඇසුර ආදරයකට පරිවර්තනය වූයේ ඔවුන් දෙදෙනාගේම කැමැත්තට අනුවය. පෙම් සබඳතාවක පැටළුන ද ලිංගික ශ්‍රමිකයකු වශයෙන් නන්දා දිගටම කටයුතු කළාය.
කොළඹ නගරයේ වීථිවල ලිංගික ශ්‍රමිකයන් ලෙස කටයුතු කරන්නන් පොලිස් අත්අඩංගුවට පත් වුවද තම පෙම්වතා නිසා තමාව අත්අඩංගුවට නොගැනුණු බව නන්දා පැවසුවාය.
වසර දෙකක පමණ කාලයක් ඇසුරු කිරීමෙන් පසු නන්දා සිය පෙම්වතා හා විවාහය ලියාපදිංචි කළාය. තම සහකරුගෙන් තමාට දරුවකු ලැබීමට සිටීම නිසා ලිංගික ශ්‍රමිකයකු වශයෙන් ගත කළ ජීවිතය සහමුලින්ම නතර කර දැමූ බව ඇය කීවාය.
කොළඹ නගරයේ මහල් නිවාසයක වාසය කරන ඇය අද ලිංගික ශ්‍රමිකයන් සම්බන්ධව කටයුතු කරනු ලබන එක්‌තරා සංවිධානයක ක්‍රියාකාරිණියක ලෙස කටයුතු කරන්නීය. ඇයගේ සත් හැවිරිදි පුත්‍රයා කොළඹ පාසලක ඉගෙනුම ලබයි.
වර්තමානයේ ලිංගික ශ්‍රමිකයන් වශයෙන් කටයුතු කරන තරුණියන් අනාරක්‍ෂිත සබඳතාවල නිරත වීම මත එච්. අයි. වී. ඒඩ්ස් ඇතුළු සමාජ රෝගවලට ගොදුරු වීමේ අවදානමක පසුවන බව ඇය පවසන්නීය.
පළමු ශ්‍රේණිය දක්‌වා පමණක් අධ්‍යාපනය ලැබූ තමා ලිංගික ශ්‍රමිකයකු වශයෙන් කටයුතු කිරීමේදී වත්මන් ලිංගික ශ්‍රමිකයන්ට වඩා ආරක්‍ෂාකාරී වූ බවද ඇය සිහිපත් කළාය.
"ලිංගික ශ්‍රමය අලෙවි කිරීම යනු ඇත්තටම කටුක අත්දැකීමක්.
එක් පැත්තකින් සමාජ රෝග වැළඳීමේ අවදානම. අනෙක් පැත්තෙන් පොලිසියේ අත්අඩංගුවට පත් වීමේ අවදානම.
ලිංගික ශ්‍රමිකයා ගැහැනු දරුවකුගේ මවක් නම් ගැනුම්කරුවන් අතින් ඔවුන් දූෂණය වීමේ අවදානම වැඩියි. පිරිමි දරුවකු සිටී නම් ඔහු මත්ද්‍රව්‍යවලට යොමු වීමේ ප්‍රවණතාවයක් පවතිනවා" ඇය කීවාය.
සහෝදර සහෝදරියන් දොළොස් දෙනකුගෙන් යුතු වූ පවුලක බාලයා ලෙස උපත ලැබූ තමා යොවුන් වියේදීම ලිංගික ශ්‍රමිකයකු වීම පිළිබඳව නන්දා අද සිය කණස්‌සල්ල පළ කර සිටින්නීය.
එම රැකියාවෙහි ඇති කටුක බව නොදැන ආර්ථික අගහිඟකම් හේතුවෙන් ලිංගික ශ්‍රමිකයකු බවට පත් වුවද තමා කිසි දිනෙක කිසිවකු හෝ මෙම රැකියාවට පිවිසෙනු දැකීමට අකමැති බවද නන්දා පවසන්නීය.
තම දරුවා සමාජයට වැඩදායී පුද්ගලයකු බවට පත් කිරීමත් තමා මෙන්ම ලිංගික ශ්‍රමිකයන් බවට පත් වූ කාන්තාවන්ට නිවැරැදිව කොන්ඩම් භාවිතය පිළිබඳව උපදෙස් දීමත් අද ඇය හමුවේ පවතින අභියෝගයන්ය.
එම අභියෝගයන් ජය ගැනීමට තමා සූදානම් බව සාකච්ඡාව අවසන් කරමින් ඇය අප හා පැවසුවාය.