ඕමන්ත ප්‍රදේශයේ 14 හැවිරිදි පාසල් සිසුවියක් වන ජෙයරාඡ් පවිත්‍රා පසුගිය දා (01) සිය නිවසේදීම ගෙල වැළලාගෙන මිය ගොස් ඇත්තේ තම මව විදෙස් ගත වන නිසා ඇතිවූ සිත් තැවුලෙන් බව පොලිසිය පවසනවා.
මෙම සිසුවියගේ මව මීට පෙර වසර 4ක් විදෙස්ගතව සිටීම නිසා පවුලේ බර සම්පූර්ණයෙන්ම දරා ඇත්තේ ද මෙම සිසුවියයි.
ඇයගේ පාසල් ගමනද මීට මාස 4කට පෙර නැවතුනු බවද වාර්තා වනවා.
වවුනියාවේ පන්ඩිකේන්තිකුලම් රජයේ විද්‍යාලයේ නවවැනි වසරේ අධ්‍යාපනය ලැබූ අතර පවිත්‍රාගේ පියා පවසන අන්දමට පවිත්‍රා ඉගෙනීමේ කටයුතු ඉතා මැනවින් කරගෙන ආ දක්‍ෂ සිසුවියක්.
මීට මාස හතරකට පමණ ඉහතදී එක් දිනක පවිත්‍රා හදිසියේම පියාට සඳහන් කර ඇත්තේ තමන්ට යළිත් පාසැල් යාමට නොහැකි බවයි.
"අප්පා මට ඉස්‌කෝලෙ යන්න බෑ. කියල දෙන දේවල් තේරෙන්නෙත් නෑ. ඉස්‌කෝලෙන් ගේන්න කියලා කියන දේවල් ගෙනියන්නත් බෑ. ඉස්‌කෝලේ වැඩත් අමාරුයි. ඒක හින්දා මම ඉස්‌කෝලෙ යන්නෙ නෑ".
"ඉස්‌කෝලෙ යන්නෙ නැතුව බෑනේ දුව. දුව ඉගෙන ගන්න ඕනේ. මේ පේන්නෙ නැද්ද මම ඉගෙන ගත්තෙ නැති හින්දනේ මේ තරම් දුක් විඳින්නේ. අම්මා ඔයා හන්දා ආයෙමත් රට යන්නෙ නෑ කියලා පොරොන්දු වෙලා ඉන්නේ. ඒක නිසා මගෙ හොඳ දුව වගේ හෙට ඉඳලා ඉස්‌කෝලෙ යන්න."
පියාගේ ඇවිටිල්ල මත පවිත්‍රා පසුදා පාසල් ගිය ද ඒ පාසල් ගමන නොකඩවා දිනපතාම කෙරෙන කටයුත්තක් නොවුණා.
"දුවට මොකක් හරි ප්‍රශ්නයක් ඇති. මොනව කරන්නද? මම ඔහෙ හිත හදාගන්නවා. මේ ගෑනි තමයි ඔක්‌කොම ප්‍රශ්න ඇති කෙරුවෙ. ආයෙත් රට යන්න ඕනෙ කියලා මගෙත් එක්‌ක අල්ලපු රණ්‌ඩුව දුවට ඇහෙන්න ඇති" පවිත්‍රාගේ පියා නිහඬව කල්පනා කළා.
පවිත්‍රාගේ මව වූ ශිවදේවිනී මීට වසර හතරකට පෙර විදේශගතව සිට පැමිණි කාන්තාවකි. ඇය එසේ රට ගියේ වරක් දෙවරක්‌ම නොවේ. පවිත්‍රාගේ පියා ශිවදේවිනීගේ මේ ක්‍රියා කලාපයට කොතරම් විරුද්ධ වුවත් ශිවදේවිනීගේ කටෙන් පිටවෙන රෞද්‍ර වචනවලට බියේ ජෙයරාඡ් හැම වෙලාවකම නිහඬ වුණා.
වසර හතරකට ඉහතදී ගමට පැමිණි ශිවදේවිනී යළිත් මැදපෙරදිග රටකට යැමට අවශ්‍ය කළමනා සකස් කරන්නට වූණේ පසුගිය දිනකයි.
පුංචි පවිත්‍රාගේ හදවතට පිහියෙන් ඇන්නාක් මෙන් එය දැනෙන්නට වුණා.
"අම්මා රට යනවා. මට කවුරුවත් නෑ. මම අප්පා එක්‌ක තනිවෙනවා. ආයෙත් මට කවුරුවත් ආදරේ නැතිවෙයි. මේ ආදී වශයෙන් වූ අදහස් ගොන්නක් අතර පුංචි පවිත්‍රා අතරමං වූණා.
ඇය නිතර නිතර කල්පනා කරන්නට වූයේ මේ ගැටලුව පිළිබඳවමය. අවසානයේ දී පවිත්‍රාට පාසල් ගමන එපා වූයේද අම්මා තමාව අතහැර රටයැමට සැරසෙන නිසා බව ඇය ඇගේ යහළුවන්ට පවසා තිබුණා.
ජුනි මස පළමු වැනිදා ජෙයරාඡ් ද කැටුව ශිවදේවිනී වවුනියාව නගරයට ගියේ පුංචි පවිත්‍රාට නිවසේ කටයුතු බාර කරමිනි. එහෙත් එදා පුංචි පවිත්‍රාගේ සතුට ඈ කෙරෙන් ගිළිහී ගොස් තිබුණා.
"අප්පා කලින් අම්මා රට යනවට කැමැති වුණේ නෑ. දැන් එයත් කැමතියි. මට කවුරුවත්ම ආදරේ නැහැ. මම තනි වෙනවා. "මේ ආදී වශයෙන් වූ සිතුවිලි ජාලාවක් පුංචි පවිත්‍රාගේ මනසේ ලියලන්නට වූවාට කිසිදු සැකයක් නැහැ.
කිසිවෙකුත් දැන නොසිටි පුංචි පවිත්‍රාගේ යටි හිතේ වූ අපේක්‍ෂාව ඇය ක්‍රියාත්මක කළා.
රට යැමේ බලාපොරොත්තුවෙන් ලියකියවිලි සකස් කිරීමට වවුනියාව නගරයට ගිය ජෙයරාඡ් සහ ශිවදේවිනී ආපසු නිවසට පැමිණ බලන විට පුංචි පවිත්‍රා නිවසේ නොසිටි අතර වටපිට විපරම් කර බලන විට දැක ගැනීමට ලැබුණේ පුංචි පවිත්‍රා නිවස තුළ ගෙල වැලලාගෙන මියගොස් සිටි හද කම්පා කරවන දසුන පමණයි.
පුංචි පවිත්‍රාගේ මරණයට හේතුව මරණ සහතිකයේ ලියා තිබුණේ සියදිවි හානි කරගැනීමක් ලෙස වුවත් ඕමන්තේ ප්‍රදිය වෙලාර්සන්නකුලම් වැසියෝ පැවසුවේ පවිත්‍රාගේ මරණයට හේතුව ඇයගේ මව වන ශිවදේවිනීගේ හිතුවක්‌කාර මෙන්ම නපුරු තීරණ බවයි. කවුරු කෙසේ කීවද ශිවදේවිනීගේ පිටරට ගමන කෙළවර වූයේ පුංචි පවිත්‍රාගේ අවසන් ගමන සමගයි.
