“ඩොක්ට තව වෙලා යයිද?” ඈ හිටියේ පොලිසියේ මහත්වරුන්ගේ ළඟින් හිටගෙන. ඒකිගේ කිළිටි ගවුමේ කහපාට මල් පොහොට්ටුවල පාට ගිහින්. කොනිත්තපු පාරවල්වලටද මන්දා තද නියපොතු පහරක සළකුණක් කකුල් කූඩුවක ඇලිලා. ලොකු ඔරලෝසු බිත්තියක් දිහා බලාගෙන ඒකි මොනාදෝ කල්පනා කරනවා. අසරණී! මට ඒකි ගැන දුක හිතුණා. සත්තකින්ම ඒ පුංචි එකීව වැළඳගන්න හිතුණා.
“නිර්මාල් මේ දරුවාව එක්කන් එන්න...” දොස්තර මහත්තයාගේ හඬ. මම ඉක්මනින්ම එතැන නැවතුණා. පුංචි ඒකිගේ අතක් පරිස්සමින් අල්ල ගත්තා.
“ප්ලීස්... එයා බයවෙලා ඉන්නේ.. පරිස්සමින්..” පොලිසියේ උස මහත මහත්මයෙක් මට කිට්ටු වුණා. මම අර ඒකිගේ හිස්කබල පිරිමැද්දා.
“බයවෙන්න එපා සර්.. මම බලාගන්නම්..”
කාටවත් ඒ ඉසව්වට එන්න තහනම්. පුංචි දැරිවි රෝහල් ඇඳක උඩුබැලි අතට දිගා වුණා. විදුලි පංකාවක් ආකාහේ කැරකුණා. දොස්තර මහත්තයා ඒ එකි එක්කලා හිනාවුණා.
“ඔයාගේ ඇඟට කොහොමද දැනෙන්නේ දැන් ? මහන්සියි වගේ? නැත්තම්... වෙන මොනාහරි...”
“හ්ම්ම්ම්ම්.. මුකුත් නෑ ඩොක්ටර් අංකල්.. මට ගෙදර යන්න ඕනි...”
“ඕකේ පුතේ.. අපි ගෙදර යමු.. ඊට කලින් ඔයා දොස්තර අංකල්ට උදව්වක් කරන්න ඕනි හාද? දැන් ඔයා කියන්න ඕනි ඔයාට වුණු දේ...?”
කෙළවර හිස් බංකුවක මම වාඩිවුණා. පුංචි කෙල්ල කල්පනා ලෝකෙක අතරමං වෙලා. නිසොල්මන් වෙච්ච කඳු පර්වත කඩාගෙන බිඳගෙන යන ඒකිගේ විකාර සිතුවිලි අවසානයේ ග්‍රහ වස්තුවක් ගාව වැතිරුණා. දැන් ඒ කෙල්ල පුංචි හිම කුමාරිකාවක් වගේ. කම්මුල් පෙති වළ ගැහෙනවා. ඇඟිලි තුඩු ඇහැරෙනවා.
“එයාලා මට වද දුන්නා...” ඒකිගේ ඇස් පිහිලිවලින් කඳුළු ටොන් ගණනේ කඩාගෙන වැටෙන්න ගත්තා. දොස්තර මහත්තයෙකුගේ උරය පාසාරූ කරගෙන වැටෙන ඒකිගේ කඳුළු හී පහරකටත් වඩා සැරෙන් පපු කිනිතු රිද්දන්න ගත්තා.
“සුනිල් අංකල් මාව එක්කන් ගියා.. එයා හැමදාම මාව එක්කන් යනවා... එයා මා එක්ක සෙල්ලම් කරන්න කැමතියි. වෙලාවකට මම ඩොක්ටර්, එයා ලෙඩෙක් වෙනවා. මම සුනිල් අංකල්ට බේත් දෙනවා. එයා හයියෙන් කහිනවා. එයාට අමාරුයි කියනවා. මං මගේ සෙල්ලම් බඩුවලින් එයාව සනීප කරනවා. එයා සනීප වුණාට පස්සෙ මාව බදාගෙන උම්මා දෙනවා..... පස්සේ...”
මම ඇස් පෙති තද කරගත්තා. කඳුළු අස්වයෙක් අමාරුවෙන් එළවන්න තනද්දි ඒ පුංචි ඒකිගේ ඉතිහාස කතන්දරේ මගේ ඇස් ඉස්සරහා මැවෙන්න ගත්තා. දුම්රියක් වගේ හෙමින් දුවන්න ගන්න ඒකිව නවත්තගන්නම බැරි තැන මම මගේ අත මිට මොළව ගත්තා.
“ඉතින් එයාලත් මගෙන් බේත් ගන්න ආපු අයනේ. සුනිල් අංකල් කිව්වා, ඒ හැමෝටම බේත් ඕනි කියලා.. මේ දවස්වල වැස්ස නිසා, ඒ අයට සැරින් සැරේ අමාරු වෙනවලු. අන්තිමට ඒ අය හැමෝම සනීප වුණාට පස්සෙ එයාලා මට රිද්දුවා. මාව කෙනිත්තුවා. මගේ .... කරන්න ගත්තා........”
මගේ පපු කන්ද පාතට වුණා. පුංචි ඒකිගේ කඳුළු පිනුම් ගහන අස්සේ දොස්තර මහත්තයා අන්ත අසරණ වුණා. අන්තිමේ මම ඒකිගේ අතින් අල්ලගත්තා. ඒකි මගේ පපුවට හේත්තු කරගත්තා.
“නිර්මාල්, ඉන්ස්පෙක්ටර්ට එන්න කියන්න...”
පොලිසියේ ලොකු හාදයා දොස්තර මහත්තයාගේ මේසේ ළඟ වාඩිවුණා.
“ඩොක්ටර්..? මොකද දරුවාගේ තත්ත්වේ..?”
“මේ දරුවා ඉන්නේ ලොකු මානසික පීඩනේකින්. එයාව අර තිරිසනා දවස් ගානක් දූෂණය කරලා තියනවා. තනියම නෙවෙයි මිනිහාගේ යාළුවෝ තුන් දෙනෙකුත් හවුල් කරගෙන. එයාලා මෙයාට පහරදීලා තියනවා ඉන්ස්පෙක්ටර්.. ඒ විතරක් නෙවෙයි, මෙයාව හූරලා හපලා... උන් උන්ගේ ආශාව සන්සිඳුවගෙන.. ඒක මෙයාත් එක්ක සෙල්ලම් කරන විදිහට අඟවලා කරලා තියෙන්නේ. ප්ලීස් ඉන්ස්පෙක්ටර් මේ තිරිසනුන්ට පුළුවන් උපරිම දඬුවම් කරන්න.. මේ දරුවාව අපිට දැන්ම රිලීස් කරන්න බැහැ. කෝ මේ දරුවාගේ දෙමව්පියෝ..? ඇයි ඒ අය ආවේ නැත්තේ...?” දොස්තර මහත්තයා වෙද නළාව පැත්තකින් තිබ්බා. පොලිසියේ මහත්තයා උරහිස් හැකිළුවා.
“ඩොක්ටර්, මේ දරුවාගේ අම්මා ඉන්නේ රට... තාත්තා ඉන්නේ වෙන ගෑනියෙක් එක්ක.. මේ දරුවා දැන් හැදෙන්නේ ආච්චි අම්මා ගාව. ඒ මනුස්සයාටත් හරියට වැඩක් පලක් කරගන්න බෑ. ඇස් පේනවාත් අඩුයි... ඉතින්....?”
“එතකොට මේ දරුවාට කවුරුත් භාරකරුවන් නැද්ද?”
“මට පුළුවන් ඩොක්ටර් කවුරුහරි සම්බන්ධ කරලා දෙන්න..”
“ඕකේ.... ඉක්මන් කරන්න...”
= = = = = = = = = = = = = =
දවස් තුන්සීය හැට පහ ගණනේ අවුරුදු ගානක් ගෙවිලා යන තැන, මම ආකාසේ කරක් ගහන උකුසු පැටවෙකුගේ හැඩ බලමින් උන්නා. වෙනදා කවරදාකවත් දැනිලා නැති පරාණ බයක්... එක්කලා...
“ප්ලීස් සර්.. මාස්ක් එක දාගන්න.... මේ පැත්තෙන් එන්න.. මීටරේ දුර තියාගන්න...” මගේ හඬ දුබල වෙනවා.
හුරුබුහුටි කෙල්ලක් මට ඈත තියා අත පානවා. ඒකිගේ ඩයි කරපු කොණ්ඩ කැරලි හුළං කපොලු එක්කලා සෙල්ලම් කරනවා.
“හායි අංකල්.. අනේ මම ටිකක් එන්නද මෙතනට.. කමක් නැද්ද? ඉන්න.. අංකල්ට මාව අඳුරන්න බැරිද? මම එක දවසක් ආවා... පුංචි කාලේ... අංකල්ට මතකද?” යන්තම් “මාස්ක්” එක නිරාවරණය වෙන්න ඇරපු බෝනික්කි දත් විලිස්සලා මා එක්කලා හිනාවුණා. යන්තම්වත් මතක නැති අතීත කතාවක හිමිකාරියක්?
“මට... හරියටම.. මතක නෑ..”
“පොලිස් කේස් එකකට ආවේ... ම්ම්ම්.. හෝමාගම?”
“අංකල් දැන් වෙනස් වෙලා. රැවුල සුදුවෙලා.. ඒ කියන්නේ වයසට ගිහින්... හේ... ඉන්න... අර ඉන්නේ මගේ හස්බන්.. මම මැරි කළා ගිය අවුරුද්දේ...”
“ආහ්... මට හිතාගන්න බෑ.. ඔයත් වෙනස් වෙලා හුඟාක් දරුවෝ...”
ඒකිගේ ඇහි පිහාටු අව් රශ්මියට දිලිහුණා. තාමත් අතීත දුම්රියක ඉදිරි පෙළ අසුනේ මම වාඩිගෙන ඉන්නවා. හරියට එදා වගේම... මේ පුංචි ඒකිගේ ඇස් පිල්ලම් ගහන සද්දේ හිතින් අහන අතරේ...
“අංකල්... පරිස්සමින් ඉන්න හාද? දන්නවනේ කොරෝනා හෙන වසයි.. මම ගිහින් එන්නම්...! බුදු සරණයි..!”
= = = = = = = = = = = = = =
(ප.ලි. මෙම සිදුවීමට අදාළව වරදකරුවන් වූ සිව් දෙනාට මෑතකදී අධිකරණයෙන් දඬුවම් නියම වූ අතර ප්‍රධාන සැකකරු වු සුනිල් මාමා නම් වූ අයට වසර 27ක සිරදඬුවම් සහ වන්දි ගෙවීමටද නියෝග ලැබුණා. අන් සැකකරුවන්ට ද සිර දඬුවම් නියම වුණා. පුද්ගලිකත්වය තකා මෙම සිදුවීමට අදාළ අයවලුන්ගේ නම් ගම් වෙනස් කර ඇති බව කරුණාවෙන් සලකන්න.)