මහ ගස් යට තවත් ගස් හැදෙන්නෙ නැතැයි යන කියමන මුසාවක් කරමින් ගායන ශිල්පී චන්ද්‍රසේන හෙට්ටිආරච්චි නම් වූ මහා වෘක්ෂය යට හැදී වැඩුණ ඒ පුංචි පැලෑටිය අද බොහොම සරුවට අතු ඉතිලා වැඩුණු ගසක් වෙලා. ළිහිනි හෙට්ටිආරච්චි නම් වන ඈ සිය පියාගේ අතැඟිල්ලෙන් මිදී ගායන ලෝකයේ ස්වකීය ගමන අරඹලා.ඇගේ ජීවිතය ගැන සති අන්ත පුවත්පතක සංවාදයකට ඇය හෙළිකළේ මෙහෙමයි.
ළමාවිය ගෙවෙන්නෙ සංගීතයෙන් හා ගීතයෙන්ද?
මම පුංචි කාලෙ ගෙදරදි හැම වෙලාවෙම සිංදු කියනව. මගේ මේ ගායනය අම්මයි අප්පච්චියි අහගෙන ඉඳල මට සිංදු කියන්න පුළුවන් කියල හඳුනාගෙන මාව සංගීතයට යොමු කළා. එතකොට මම එක වසරේ විතර ඇති. අම්මයි අප්පච්චියි කිව්වෙ මම කැමති දෙයක් ඉගෙන ගන්න කියලයි. අප්පච්චි ගායන ශිල්පියෙක් වුණා කියලවත් මට හොඳට සිංදු කියන්න පුළුවන් කම තිබුණා කියලවත් මම සංගීත ක්ෂෙත්‍රයට පැමිණිය යුතුයි කියල එයාලගෙ මතයක් තිබුණෙ නැහැ. ප්‍රාථමික පන්තිවලදි මම පාසලේදි ඉගෙන ගත්තෙ නර්ථනය. හැබැයි හය වසරට ඇවිත් සෞන්දර්ය විෂයයන් තෝරගන්න අවස්ථාව උදාවුණහම මම සංගීතය තෝරාගත්තා. එතනින් පටන් ගත්ත සංගීතය ඉගෙනීම මම උසස් පෙළ දක්වාම කරගෙන ආවා.
ගායිකාවක ලෙස මුල් පියවර තැබුවේ කොහොමද?
ඒක මගේ දිවියේ සංගීතය සම්බන්ධ අමතක නොවනම සිදුවීමක් කිව්වොත් නිවැරදියි. මම හත ශ්‍රේණියේ ඉගෙන ගනිද්දි තාත්තා මගේ උපන්දිනයට මට අපූරු තෑග්ගක් දුන්නා. ඒ තෑග්ග ගීතයක්. ඉරයි හඳයි තරුයි කියලා දෙමවුපියන් ගැන කි යවෙන ගීතයක්. තාත්තම පද රචනයයි, සංගීතයයි නිර්මාණය කරලා මට ගයන්න අවස්ථාව සපයලා දුන්නා. ඒ ගීතය ඒ දවස්වල ගුවන්විදුලි නාලිකාවල ප්‍රචාරය වුණා. ඒ තමයි ගායිකාවක විදිහට මට ප්‍රසිද්ධ මාධ්‍යයට එන්න ලැබෙන පළමු අවස්ථාව.
ළිහිණිගේ සංගීත ගුරුවරුන් කව්රුන්ද?
අප්පච්චි ගොඩක් කාර්යබහුල නිසා මට සංගීතය උගන්වන්න එයාට වෙලාවක් තිබුණෙ නැහැ. ඒ නිසා මාව සංගීතය ඉගෙන ගන්න ගුරුවරුන් වෙත යොමුකළා. ඒ අනුව මම ගායනය වගේම වයලින, සිතාර්, කී බෝඞ් වැනි සංගීත භාණ්ඩ වාදනයත් ඉගෙන ගත්තා. පාසල් අධ්‍යාපනය අතරම මම ඉන්දියාවේ භාත්කණ්ඩ සංගීත විභාගවලට පෙනී සිටියා. මට දැන් සම්පූර්ණ කරන්න තියෙන්නෙ විශාරද අවසන් විභාගය පමණයි. විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතු නිසා ඒ විභාගයට පෙනී සිටීම කල් ගියත් ඉක්මනින්ම ඒ විභාගය අවසන් කරන්න බලාපොරොත්තු වෙනව.
ළිහිණිගේ අධ්‍යාපන කටයුතු සිදුවෙන්නෙ?
මම ඉස්කෝල තුනකට ගියා. ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරුවෙ කොළඹ ශ්‍රී සංඝමිත්තා බාලිකා විද්‍යාලයෙන්. ඊට පස්සෙ මම හය වසරෙ ඉඳන් එකොළහ වසර වෙනකම් කොළඹ ගෝතමී බාලිකාවෙ ඉගෙන ගත්තා. මම උසස් පෙළ හැදෑරුවේ කොළඹ විශාකා විද්‍යාලයෙන්. මේ වන විට මම ජයවර්ධනපුර සරසවියේ උසස් අධ්‍යාපනය ලබනව. මම විශ්වවිද්‍යාලයේ උපාධියට හදාරන්නෙ සංගීතය නම් නෙවෙයි. මම ව්‍යාපාර සංඛ්‍යානය කියන විෂය ක්ෂෙත්‍රය තමයි මම දැනට අධ්‍යාපන කටයුතු කරන්නෙ.
ළිහිණි යෞවනයේ තරුවක් වෙන්නෙ?
ළමා වියේ මම ගීත හතක් අටක් විතර කරලා තිබුණට ඉරයි හදයි තරුයි ගීතය පමණයි මාධ්‍යයේ ප්‍රචාරය වුණේ. ඇත්තටම මාව ගායිකාවක් විදිහට ප්‍රසිද්ධ වුණේ මීට අවුරුදු දෙකක විතර ඉඳන්. පහුගිය කාලයේ රූපවාහිනී ගුවන්විදුලි වැඩසටහන් කිහිපයකම අප්පච්චි සමග යුග ගී ගායනා කළා. ඒ අතරම දෙරණ ස්ටාර් සිටි වැඩසටහනට මමයි අප්පච්චියි සහභාගි වුණා. අපි දෙන්නම ඒ වැඩසටහනේ නර්තන ඉදිරිපත් කළා. ගී ගැයුවා. ඊට පස්සෙ අප්පච්චිගෙ හතළිස් වසරක සංගීත දිවිය සමරමින් පැවැත්වුණ ප්‍රසංගයේදි ගීත ගායනා කළා. මෑත කාලයේ මම නැවතත් ගීත කිහිපයක්ම කළා. වරුණ චින්තකගේ අයිය ලියූ, සෙනුක අයිය සංගීත නිර්මාණය කළ රහල් අල්විස් සමග ගැයූ සප්ත නම්බරේ ගීතය, අප්පච්චි නිර්මාණය කළ මං ගාව තනිවෙච්ච වැනි ගීත මම මෑතකදි යූ ටියුබ් එක හරහා එළි දැක්වුවා. වර්තමානයේ බොහෝ දෙනා මාව ගායිකාවක විදිහට දැන ගන්නෙ යූ ටියුබ් එක හරහායි. මේ වෙද්දි බන්දුල නානායක්කාරවසම් අංකල් ලියපු, සරත් ද අල්විස් අංකල් සංගීතය සපයපු මගේ අලූත්ම ගිතය මම යූ ටියුබ් එකට එක් කරන්න සුදානමින් ඉන්නෙ.
රූමත් ගායිකාවන් වන ඔබට රංගනයට ඇරයුමක් ලැබුණොත්?
මටත් රංගනයට සමහර අවස්ථාවල ඇරයුම් ලැබුණා. නමුත් මම ඒවට ගියේ නැහැ. අනාගතයේ දෙයක් ලැබුණොත් එය මට කරන්න පුළුවන් දෙයක් නම් මම කරනව. මම ගායනය අතහරින්නෙ නැහැ. ඒක මගේ සහජ දක්ෂතාවනෙ. හොඳ නිර්මාණ ටිකක් සමාජයට දායාද කිරීම තමයි මගේ එකම අරමුණ. ගායනයේදි කෙනකුට හොඳ ලස්සන කටහඬක් තියෙනව නම්, අපි හරියට ඒ දේ කරනව නම් ඒ් ගායකයගෙ හෝ ගායිකාවගෙ රූපය ලොකුවට බලපාන්නෙ නැහැ. ගීතයකින් කෙනෙක් රස වින්දනයක් ලබන්නෙ ඒ ගීතය අහලනෙ.
ඔබ අනාගතයේ දවසක වෘත්තිය ගායිකාවක් වෙයිද?
ගායනය මම දිගටම කරගෙන ගියත් ඒක වෘත්තියක් කරගන්නෙ නැහැ. මම කාලයක් ප්‍රසංගවලටත් සහභාගි වුණා. නමුත් මගේ අධ්‍යාපන කටයුතු එක්ක ඒක සමබරව කරගෙන යන්න අපහසු නිසා මේ වන විට ප්‍රසංගවලට සහභාගි වෙන එක සීමාවෙලා තියෙනව.
ළිහිණි, ඔබගේ සොහොයුරාත් අනාගතයේ දවසක ගායනයට අවතීර්ණ වන්න සැළසුමක් තියෙනවද?
ඔව්. දැනටමත් මගේ අයිය සංගීතයට සම්බන්ධ වැඩ කරනව. තවම ගීත ගායනයට අවතීර්ණ වුණේ නැහැ. අයියා කැමැත්තෙන් ඉන්නව එයාගෙ ගීතයකින්ම ක්ෂේත්‍රයට එන්න. ඉදිරියේදි අයියගෙ ගීතත් රස විඳින්න හැකිවෙයි.
ධම්මිකා සුරංජි පතිරණ - දිවයින