චින්තක කුලතුංග කියන රංගන ශිල්පියා නිරන්තරයෙන්ම දකින්න ලැබෙන චරිතයක් නෙමෙයි. ඉදහිට නිර්මාණවල පෙනී හිටියත් ඔහු රගපාන ඒ හැම චරිතයක් පාසා ජනප්‍රිය වුණා. මේ දවස්වල ඔහුව දකින්න ලැබෙන්නේ කලාතුරකින්. ඒ හිරු රූපවාහිණියේ විකාශය වෙන අහස් මාළිගා නාට්‍යයෙන්. ඔහුගේ අලුත්ම තොරතුරු ගැනයි මේ.
* කාලයක් ඔබ නිහඬව හිටියා නේද?
මගේ ව්‍යාපාර කටයුතුත් එක්ක හිටපු නිසා ගැළපෙන චරිත ලැබෙද්දි විතරයි වැඩ කළේ. පහුගිය දිනවල කැමති චරිත ලැබුණේ නැහැ. මෑතකදී වැඩවලට කතා කළා. මොකද රූපවාහිනියේ අපිව දකිද්දි තමයි වැඩවලට කතා කළේ.
* දැන් වෙනදාට වඩා කාර්යබහුල වෙලා නේද?
ඔව්. දැන් නම් ගොඩක් ලැබෙනවා. කොච්චර කීවත් රූපවාහිනිය බලන්නෙ නැහැ කියලා කීවට අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු සියලු දෙනාම තෝරාගන්නේ විකාශය වන නිර්මාණවල ඉන්න පිරිස්ව. නිතරම දකින්න ලැබෙන අයට තමයි නිර්මාණවලට ආරාධනා ලැබෙන්නේ.
* මොනවද අලුත් වැඩකටයුතු?
අහස් මාලිගා, හා තවත් නාට්‍ය තුනක වැඩ කරනවා. මගේ නිෂ්පාදනයක් වන දෙයියන්ගේ රටේ වැඩකටයුතු කරනවා.
* පුංචි තිරයේ නිතර දකින්න ලැබුණත් සිනමාවේ ඔබව දකින්න ලැබෙන්නෙ අඩුවෙන් නේද?
ලංකාවේ සිනමාව කඩාගෙන වැටෙමින් තියෙනවා. දැනට රංගනයට දායක වුණු චිත්‍රපට ප්‍රමාණය අතක ඇඟිලි ගණනටත් වඩා අඩුයි. සෝමරත්න දිසානායකගේ අන්ඩර් පෑන්ටි කියන චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට දායක වුණා. තවත් ඔහුගෙම චිත්‍රපටයකට ආරාධනා ලැබිලා තියෙනවා. හැමෝටම වැඩිපුර අවස්ථාව ලැබෙන්නේ රූපවාහිනී නිර්මාණවලට. නමුත් හැමෝගෙම හීනය තමයි සිනමාව.
* තවමත් පෙම්වතාගේ චරිතයට ආරාධනා ලැබෙනවාද?
ඔව්. හැබැයි යොවුන් පෙම්වතාගේ චරිතවලට නෙවෙයි. මැදිවියේ පසුවෙන පෙම්වතුන්ගේ චරිතවලට කතා කරනවා.
* වෘත්තීමය වශයෙන් රංගන ක්ෂේත්‍රයද නියෝජනය කරන්නේ?
වෘත්තියක් වශයෙන් රංගනයේ නියැළෙන්න අමාරුයි. එහෙම අය ඉන්නවාද කියන එකත් ගැටලුවක්. එහෙම කළොත් ආර්ථික වශයෙන් අමාරුයි.
* ක්ෂේත්‍රයට එකතු වෙන්නේ කොහොමද?
පාසලේ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණා. මගේ පෙම්වතිය බලන්න යද්දි තමයි කලාකරුවෙක් ආශ්‍රය කරන්නෙ ලැබුණේ. අද ඇය මගේ බිරිඳ. නිෂ්පාදනයට සම්බන්ධ වෙලා තමයි මට අරුණ ජයවර්ධනගේ බාඳුරා දේශයට සම්බන්ධ වෙන්න ලැබෙන්නේ.
* එදා සහ අද නිර්මාණවල වෙනස මොන විදිහටද දකින්නේ?
එදා තිබුණු නිර්මාණ සුන්දරයි වගේම සැලැස්මක් තිබුණා. සියලු දෙනාගේම කැපවීම තිබුණා. අද වෙද්දි ඒ හැමදේම කඩා වැටිලා. වෙන සිස්ටම් එකකට යනවා. මොකද සිස්ටම් එකක් නැති රටක කලාව විතරක් සිස්ටම් එකකට යන්නෙ නැහැනේ. මොනව හරි ක්‍රමයකින් කරන අය පිරිසක් නිසා බේරිලා තියෙනවා. ඉන්දියානු ටෙලි නාට්‍ය නිසා අද මිනිසුන්ගේ නිර්මාණශීලී හැකියාව නැතිවෙලා තියෙනවා. ඉදිරියේදී අපට මෙහේ නාට්‍යයක පේන්න ඉන්දියාවේ ගිහින් රඟපාන්න වේවි. භාෂාව, සංස්කෘතිය යටත්විජිත බවට පත්වෙනවා. ඒ අය ලක්ෂ 20ක් 25ක් වියදම් කරලා කොටසක් නිර්මාණය කරනවා. අපි ලක්ෂ එකහමාරකින් තමයි එක කොටසක් හදන්නේ. කතා කියන කලාවක් දැන් අපට තියෙන්නේ, කතා පෙන්වන කලාවක් නැහැ. මොකද පෙන්වන්න අපට සල්ලි නැහැ.
* කාර්යබහුලත්වයත් එක්ක පුද්ගලික ජීවිතය මගහැරෙන්නෙ නැද්ද?
අනිවාර්යයෙන් මග හැරෙනවා. මානසිකව වැටෙනවා. ඉවසීමෙන් ඒ දේවල් පටලවා ගන්නෙ නැතුව වැඩ හරියට කරගන්නවා.
* පුතත් රංගනයට එකතුවෙලා නේද?
ඔව්, ඔහුට ඕන වුණේ මම වගේ අහම්බෙන් ක්ෂේත්‍රයට එකතු වෙන්න නෙවෙයි. එයාට අවශ්‍ය හොඳ ඉගෙනීමක් කරලා පුහුණුවක් ලබලා ක්ෂේත්‍රයට එන්න. ලබන අවුරුද්දේ එයා විදේශගත වෙයි වැඩිදුර අධ්‍යාපනයට.
* ඔබ කැමති වුණාද රංගනයට එකතු වෙනවාට?
මම බාධක දාලා නැහැ. ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය නිදහස දීලා තියෙනවා.
තිළිණි කරුණාරත්න