බද්දේගම - අගලිය පොලිස් මුරපළේ ස්ථානාධිපති ඇතුළු 5 දෙනෙකු රහස් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙන බවට වාර්තාවෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ අත්අඩංගුවේ සිටියදී පුද්ගල අතුරුදන් වීමක් සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
කොළඹදී පසුගිය 06 වනදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ සම්බන්ධයෙන් පැහැදිලි කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ පසුගිය වසරේ සැප්තැම්බර් මස 16 වන දා බද්දේගම පොලීසියට ලද පැමිණිල්ලක් අනුව එහි විමර්ශන කටයුතු සඳහා පොලිස් නිලධාරියෙකු ගොස් ඇති බවයි.
එහිදී අතුරුදන් වූ පුද්ගලයා පොලිස් රාජකාරිවලට බාධා කර ඇති අතර පසුදින අගලිය පොලිස් මුරපළේ ස්ථානාධිපතිවරයා අදාළ ප්‍රදේශයට ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුදින මොහු පොලිස් ස්ථානයේ නොසිටීම හේතුවෙන් ඔහුගේ ඥාතීන් සදහන් කළේ මොහුට පොලීසිය විසින් යම් හිරිහැරයක් සිදුකර ඇති බවටයි.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකර අදාළ පුද්ගලයාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් අගලිය පොලිස් මුරපළේ පොලිස් නිලධාරීන් වගකිව යුතු බවට තොරතුරු අනාවරණ කරගෙන තිබෙනවා.