මුව මස්වලට සුනඛ මස් එක් කර විකිණීමේ ජාවාරමක් පිළිබදව හම්බන්තොට ප්‍රදේශයෙන් වාර්තාවන අතර හම්බන්තොට - වනජීවි අඩවි සහකාර නිලධාරී ජේ.ඒ.පී. විජේකුමාර මහතා පැවසුවේ මේ දිනවල හම්බන්තොට ප්‍රදේශයේ මුවමස් ජාවාරම ද බහුලව සිදුවන බවයි.
හම්බන්තොට ප්‍රදේශයට බලපෑ නියං තත්ත්වය තවමත් පහව ගොස් නැහැ. ඒ හේතුවෙන් එම ප්‍රදේශයන්හි රක්ෂිතවල වෙසෙන වන සතුන් වනජීවි දෙපාර්තමේන්තුව විසින් වැව් ආශ්‍රිතව සකසා ඇති දිය වළවල් වෙත ජලය සොයාගෙන ඒම සිදුවනවා.
එලෙස පැමිණෙන වන සතුන් දඩයම් කිරීම පිළිබදව පසුගිය දිනවල පුවත් ගණනාවක් වාර්තා වුණා.
ඒ අතරින් සිදුවීම් ගණනාවක් ම වාර්තා වූයේ මුවමස් ජාවාරම පිළිබදවයි. මේ අතර, හම්බන්තොට බඳගිරිය - තම්මැන්නාව වැව් රක්ෂිතයේ සිදුවන මුවමස් ජාවාරමක් පිළිබදව හම්බන්තොට අඩවි වන ජීවි කාර්යාලයට තොරතුරු ලැබී තිබුණා.
ඒ අනුව වනජීවි නිලධාරින් පසුගිය 22 වැනිදා වැටලීමක් සිදුකළ අතර, එහිදී මස් කරන ලද මුවන්ගේ ශරීර කොටස් හමුවී තිබෙනවා. තවද එම ස්ථානයේ ම තිබී මස් කරන ලද සුනඛයින්ගේ ශරීර කොටස් කිහිපයක් ද හමුවුණා.
වනජීවි නිලධාරීන් සදහන් කරන්නේ මේ දිනවල හම්බන්තොට ප්‍රදේශයේ දඩ මස් සමඟ මිශ්‍රකර සුනඛ මස් අලෙවි කිරීමේ ජාවාරමක් පවතින බවයි.