පිරිසිදු මුදල් නෝට්ටු භාවිතය පිළිබද ප්‍රතිපත්තිය යටතේ විකෘති වූ මුදල් නෝට්ටු සඳහා මෙම වසරේ දෙසැම්බර් 31 වැනිදායින් පසු ගෙවීම් සිදු නොකරන බවට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබූ අතර ජනතාව සතුව පවතින එවැනි මුදල නෝට්ටු වාණිජ්‍ය බංකු ශාඛාවන් සමග හුවමාරු කර ගැනීමට තවදුරටත් අවස්ථාව සලසමින් එම කාලය 2018 මාර්තු 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහ බැංකුව වෙත උපදෙස් දී තිබෙනවා.
තමන් සතුව විකෘති වූ මුදල් නෝට්ටු පවතින්නේ නම් 2017 දෙසැම්බර් 31 වැනිදාට පෙර බලපත්‍රලාභි වාණිජ බැංකු ශාඛාවක් සමග හුවමාරු කර ගත යුතු බවට මහ බැංකුව ගන්නා ලද තීරණයක් අනුව 2017 ජූලි මාසයේ සිට ඒ පිළිබඳව ජනතාව දැනුවත් කර තිබුණා.
ඒ අනූව විකෘති කරන ලද කිසිදු මුදල් නෝට්ටුවක් 2018 ජනවාරි 1 වැනිදායින් පසු රාජ්‍ය හෝ පෞද්ගලික බැංකුවකින් භාර නොගන්නා බව දන්වා තිබූ අතර මුදල් නීති පනත අනුව පනවන ලද අදාළ රෙගුලාසි යටතේ එම මුදල් නෝට්ටු ශ්‍රි ලංකා මහ බැංකුව භාරයේ රඳවා තබා ගන්නා අතර කිසිදු ගෙවීමක් සිදු නොකරයි.
මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා විශාල පිරිවැයක් දැරීමට රජයට සිදුවීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබූ අතර ශ්‍රි ලංකාවේ වලංගු මුදල් නෝට්ටු හිතමතාම විකෘති කරන පුද්ගලයන්ට එරෙහිව 1949 අංක 58 දරණ මුදල් නීති පනත යටතේ අධිකරණ ක්‍රියාමාර්ග ගෙන දඬුවම් පැමිණවීමට අවස්ථාව පවතිනවා.