කොලොම්බියා විශ්වවිද්‍යාලය මගින් නිපදවන ලද 'ස්ටාර්' (Star - Sperm Track and Recovery) පද්ධතිය හරහා දැන් වෛද්‍ය විද්‍යාවේ හාස්කමක් සිදුවෙමින් පවතිනවා.
නිව් ජර්සි හි පෙනෙලොප් සහ සැමුවෙල් වසර දෙකහමාරක් පුරා දරුවෙකු අපේක්ෂාවෙන් හිටියත්, සැමුවෙල් පෙළුණු 'ක්ලයින්ෆෙල්ටර් සින්ඩ්‍රෝමය' නිසා ඔහුගේ ශුක්‍ර තරලයේ ශුක්‍රාණු නැති බවයි වෛද්‍යවරුන් පවසා තිබුණේ. සාමාන්‍යයෙන් මෙවැනි තත්ත්වයකදී දරුවෙකු ලැබීමේ සම්භාවිතාව 20%ක් තරම් ඉතා අඩු අගයක් ගත්තත්, 'ස්ටාර්' තාක්ෂණය ඔවුන්ගේ ජීවිතයට වාසනාව ගෙන ආවා.
මේ තාක්ෂණයේ තියෙන විශේෂත්වය තමයි, මෙයට පදනම් වෙලා තියෙන්නේ තාරකා විද්‍යාඥයන් අභ්‍යවකාශයේ අලුත් තරු සොයාගන්න භාවිතා කරන AI ක්‍රමවේදය වීමයි.
කෙස් ගසකටත් වඩා සිහින් නාල සහිත වීදුරු තහඩුවක් හරහා සාම්පලය යවන අතරතුර, AI පද්ධතිය තත්පරයට රූප 300ක් බැගින් එය පරීක්ෂා කරනවා.
පියවි ඇසට හසු නොවන, අනෙකුත් අපද්‍රව්‍ය අතර සැඟවී ඇති අතිශය දුර්ලභ ශුක්‍රාණු සෛල AI මගින් ක්ෂණිකව හඳුනා ගන්නවා. සෛලයක් හඳුනාගත් සැණින් මිලි තත්පර කිහිපයක් ඇතුළත රොබෝ පද්ධතියක් මගින් එම සෛලය ඉතා ආරක්ෂිතව වෙන් කරගන්නවා.
මෙම පද්ධතිය හරහා සැමුවෙල්ගේ වෘෂණ කෝෂ පටක සාම්පලයකින් ශුක්‍රාණු සෛල 8ක් සොයා ගැනීමට සමත් වූ අතර, ඉන් එක් සෛලයකින් සාර්ථකව කළලයක් නිර්මාණය කර තිබෙනවා. ඒ අනුව පෙනෙලොප් මේ වන විට ගැබ්ගෙන සිටින අතර, ඔවුන්ගේ දරුවා ලබන ජූලි මාසයේදී උපත ලැබීමට නියමිතයි. මෙය 'ස්ටාර්' තාක්ෂණය හරහා උපදින ලොව පළමු දරුවා ලෙස ඉතිහාසයට එක් වනු ඇති.
ලොව පුරා පිරිමින්ගෙන් 1%ක් පමණ පීඩා විඳින 'Azoospermia' තත්ත්වයට මෙය මහඟු සහනයක් වනු ඇති බව වෛද්‍යවරුන්ගේ මතයයි. තවමත් පර්යේෂණ මට්ටමේ පවතින මෙම තාක්ෂණය ඉදිරියේදී වාණිජමය වශයෙන් ලොව පුරා භාවිතයට ඒවි යන්න දරුවන් අපේක්ෂාවෙන් සිටින බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුවයි.
අරුණ පුවත්පත ඇසුරෙන්