නින්ද නැති රෑවල්, කන්දක් තරම් ලොකු පොත් ගොඩවල් එක්ක කරන මහා යුද්ධයක්. එහෙම එකේ, කොළඹ වෛද්‍ය පීඨයේ පිරිනමපු සමස්ත රන් පදක්කම් 32න් හරියටම බාගයක් ඒ කියන්නේ පදක්කම් 16ක්ම තනියම දිනාගන්න පුළුවන් වුණොත්? අන්න එහෙම හිතාගන්නවත් බැරි දක්ෂතාවයක් පෙන්නලා මුළු සයිබර් අවකාශයම හොල්ලපු දක්ෂ කෙල්ලෙක් ගැනයි මේ දවස්වල හැමෝම කතා වෙන්නේ.
ඇය නමින් වෛද්‍ය හසිනි රංගිකා ඈපා ආරච්චි. කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේදී හැමෝගෙම ඇස් ඇය ළඟ නතර වුණේ අහම්බයකින් නෙවෙයි. තමන්ගේ බැච් එකේ Valedictorian විදියට වේදිකාවට ගොඩවුණු හසිනි, අවසාන MBBS විභාගය ඇතුළු සියලුම විෂය ධාරාවන් පහෙන්ම First Class දාපු සුපිරි මොළකාරියක්! එතනින් නතර වුණේ නෑ.. ලංකාව පුරාම ඉන්න වෛද්‍ය උපාධිධාරීන්ගේ කුසලතා ලැයිස්තුවේ (All-Island Merit List) අංක එක දිනාගෙන සමස්ත ලංකාවෙන්ම පළමුවැනියා වුණෙත් ඇයමයි. මහාචාර්ය තිලක් හෙට්ටිආරච්චි සම්මානය ඇතුළු වටිනා සම්මාන ගොන්නක්ම තමන්ගේ නමට ලියාගන්න ඇය සමත් වුණා.
වැඩේ කියන්නේ, හසිනි කියන්නේ නිකන්ම පොතේ පතේ දැනුමට විතරක් සීමා වුණු කෙනෙක් නෙවෙයි. කැම්පස් යන කාලේ හැම වාරෙකදීම Dean’s List සම්මාන දිනාගත්තා වගේම, Mitsubishi UFJ Foundation ශිෂ්‍යත්වයත් තමන් සතු කරගත්තා. ඊටත් එහා ගිහින් ගර්භනී මව්වරුන්ගේ මානසික සෞඛ්‍යය, ස්ක්‍රබ් ටයිෆස්, ඩෙංගු සහ පෙනහළු රෝග ගැන ජාත්‍යන්තර මට්ටමේ පර්යේෂණ පත්‍රිකා එළිදක්වමින් ලංකාවේ වෛද්‍ය පර්යේෂණ ක්ෂේත්‍රයත් ඇය උඩුයටිකුරු කරලා තියෙනවා.
වේදිකාව උඩ පදක්කම් 16ක් පපුවේ එල්ලගෙන ඇය හිටපු ඒ ආඩම්බරකාර පෙනුම දැක්කම මුළු සමාජ මාධ්‍යම එක හඬින් කියන්නේ එක දෙයයි.. මේක නම් අදහන්නත් අමාරු සුපිරි ජයග්‍රහණයක්! කැපවීමයි, විනයයි තියෙනවා නම් ඕනෑම හීනයක් ජයගන්න පුළුවන් කියලා මුළු රටටම පෙන්වපු මේ ආදරණීය දොස්තර නෝනට මේ වෙලාවේ මුළු රටෙන්ම නොනවත්වා සුබපැතුම් ගලාගෙන එනවා!