මේ පිළිබඳව තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ විශේෂඥයින් දෙදෙනෙකු දක්වන අදහස් ඇතුළත් කරමින් බීබීසී සිංහල සේවය විසින් අනාවරණය කළ භයානක සත්‍යය මෙන්න.
අප නොමිලේ භාවිත කරන බොහෝ AI වේදිකා වෙත අප ලබාදෙන දත්ත, ඔවුන්ගේ පද්ධති වැඩිදියුණු කිරීමට (Model Training) භාවිත කරන බව නොරහසක්.
සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යාලංකාර මහතා පෙන්වා දෙන්නේ, පරිශීලකයින් බොහෝ විට තමන්ගේ සංවේදී පෞද්ගලික ඡායාරූප මෙලෙස AI පද්ධතිවලට ලබාදීමෙන් දැඩි වගකීම් විරහිත ලෙස කටයුතු කරන බවයි.
ChatGPT වැනි පද්ධතිවල නියමයන් සහ කොන්දේසිවලට අනුව අප ලබාදෙන ඡායාරූප ඔවුන්ගේ පුහුණු දත්ත ලෙස භාවිත කිරීමට ඉඩ ඇති බව ඔහු අවධාරණය කරනවා.
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු තිනුරි තිසේරා මහත්මිය පවසන්නේ, වෙනත් අයෙකුගේ සමාජ මාධ්‍යවල ඇති ඡායාරූප අරගෙන, AI හරහා නිරුවත් ඡායාරූප හෝ වීඩියෝ බවට පත්කර, තර්ජනය කර මුදල් ලබාගැනීමේ සහ ලිංගික අතවර කිරීමේ දරුණු ප්‍රවණතාවක් දැනටත් වාර්තා වන බවයි.
එපමණක් නොව, අනාගතයේදී ඔබ AI සමඟ බෙදාගන්නා පෞද්ගලික දත්ත සහ ඡායාරූප යොදාගෙන ඔබ වැනිම රොබෝ ක්ලෝනයක් (Robot Clone) නිර්මාණය කිරීමට හෝ ජංගම දුරකථනවල Face ID පද්ධති බිඳහෙළීමට පවා ඉඩකඩ ඇති බවට ඇය අනතුරු අඟවනවා.
AI දත්ත ගබඩා යම් හෙයකින් හැක් වුවහොත් හෝ ලීක් වුවහොත්, එම දත්ත ඩාක් වෙබ් (Dark Web) තුළ අලෙවි විය හැකියි. එවිට ඔබේ රුව යොදාගනිමින් ව්‍යාජ හැඳුනුම්පත් හෝ ගුවන්ගමන් බලපත්‍ර (Passports) පවා වංචනික ලෙස නිර්මාණය කිරීමේ දැඩි අවදානමක් පවතිනවා..
ඡායාරූපයක අඩංගු වන්නේ අපට පෙනෙන රූපය පමණක් නොවේ. එය ලබාගත් ස්ථානය (Location), දිනය, වේලාව සහ උපකරණය පිළිබඳ තොරතුරු (Metadata) එහි අඩංගුයි. AI හෝ සමාජ මාධ්‍ය වෙත මෙවැනි ඡායාරූප එක්කිරීමෙන් ඔබේ පෞද්ගලික ආරක්ෂාව පවා දැඩි අවදානමකට ලක්විය හැකියි.
නොමිලේ ලබාදෙන AI ටූල්ස් (Free AI Tools) භාවිත කිරීමේදී අපගේ දත්ත ගබඩා වන ආකාරය හෝ ප්‍රොසෙස් වන ආකාරය පිළිබඳව අපට කිසිදු පාලනයක් නැහැ.
එබැවින් නොමිලේ දෙන AI ටූල්ස් භාවිත කරමින් තමන්ගේ සහ තම ආදරණීයයන්ගේ සංවේදී ඡායාරූප උඩුගත කිරීමට පෙර දෙපාරක් සිතන ලෙසත්, ඩිජිටල් ලෝකයේ 100% ක්ම ආරක්ෂිත විය නොහැකි බැවින් මෙහි ඇති ප්‍රතිවිපාක පිළිබඳවද අවධානයෙන් සිටින ලෙසත් විශේෂඥයින් ජනතාවට දැඩි ලෙස අවධාරණය කරනවා...
- BBC පුවත් සේවය ඇසුරෙන් -