මේ අන්න ඒ ගැන සිදුකළ නවතම සමීක්ෂණයකින් හෙළිවූවක් ගැන ඇසෙන කතාවක්.
Gen Z පරම්පරාවට, මුදල් ප්‍රශ්න නිසා ඇතිවන මූල්‍ය කනස්සල්ල, ඔවුන්ගේ ප්‍රේම සබඳතා කෙරෙහි දැඩි බලපෑමක් කරමින් සිටින බවට නව අධ්‍යයනයකට අනුව හෙළි වී තිබෙනවා.
1997 සහ 2012 අතර උපත ලැබූ පිරිස Gen Z පරම්පරාවට අයත්.
මූල්‍ය තාක්ෂණ සමාගමක් වන ඉන්ටුයිට් විසින් නිකුත් කරන ලද 'The Cuffing Economy' වාර්තාවට අනුව, Gen Z පරපුරේ සෑම තිදෙනෙකුගෙන් එක් අයෙකුම නොමිලේ ආහාර වේලක් ලබාගැනීමේ අරමුණින් පමණක් පෙම් හමු (dates) වලට යන බව වාර්තා වනවා.
Gen Z පරම්පරාව මූල්‍යමය වශයෙන් දැඩි පීඩනයක සිටින බවයි මෙම සොයාගැනීමෙන් අවධාරණය කර ඇත්තේ.
නවාතැන් කුලී මිල ගණන් ඉහළ යෑම, ශිෂ්‍ය ණය බර සහ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳ විශ්වාසයක් නොමැති වීම නිසා Gen Z දැඩි මූල්‍ය පීඩනයක් අත්විඳින බව එහි දැක්වෙනවා.
ඔවුන් තම වැඩිහිටි සමවයසේ මිතුරන්ට වඩා මූල්‍යමය වශයෙන් වඩාත් කනස්සල්ලට පත්ව සිටින පිරිසක් බව ද එහි සඳහන්.
මෙම ආර්ථික ආතතිය Gen Z පෙම් සබඳතා නැවත හැඩගස්වමින් තිබෙනවා.
වාර්තාවෙන් සොයා ගත්තේ, Gen Z ප්‍රේම කරන්නන්ගෙන් අඩකට වඩා මූල්‍ය පීඩනය හේතුවෙන් ආලය කිරීම මුළුමනින්ම කපා හැර ඇති බවයි.
එපමණක් නොවෙයි, මෙය සෙසු සෑම වර්ගීකරණයකම පරම්පරාවකට වඩා වැඩිම අගයක්.
Millennials ලෙසින් හැඳින්වෙන 1980-1990 හි ඉපදුණු අයගෙන් 51%ක්ම පෙම් හමු පැවැත්වීම මඟහරිනවා. Gen Z පරම්පරාවේ 58%ක් ද පෙම් හමු නොපවත්වා සිටින බව ද සඳහන්.
Millennialsලාගෙන් 38%ක් මුදල් ප්‍රශ්න නිසා සිය ප්‍රේම සබඳතා නතර කරන බවට ද අධ්‍යයනයේදී සොයාගත්තා.
තවද,Gen Z පරපුරේ සෑම පස් දෙනෙකුගෙන් එක් අයෙක් මුදල් ඉතිරි කරගැනීම සඳහා ප්‍රේමය, සම්පූර්ණයෙන්ම මඟහැර ඇති බව සඳහන් වනවා.
සමහර Gen Z තනිකඩයන්ට නොමිලේ රාත්‍රී භෝජන සංග්‍රහයක් ලබාගැනීම වෙනුවෙන් පෙම් හමුවලට යන අය ගැනද වාර්තාවේ සඳහන් කර තිබෙනවා.
පර්යේෂකයන් විසින් මෙම සංසිද්ධිය, 2019 දී ජනප්‍රිය වූ යෙදුමක හාස්‍යජනක පෙරළියක් ලෙස ‘Foodie Calls’ ලෙස නම් කර තිබෙනවා.
මෙම ප්‍රවණතාව ගැන විහිළු තහළු කරමින් පවතින TikTok වීඩියෝ ද බොහෝමයි.
එක් වීඩියෝවක, බ්‍රිතාන්‍ය ගායිකා-ගීත රචක චියාරා කිං ඇගේ මිලියන 4.2 ක් පමණ අනුගාමිකයන් සිටින සමාජ ජාලයක බෙදා ගත්තේ "ඔබ පෙම් හමුවක් සඳහා යාමට එකඟ වන නමුත් ඔහු හරියන කෙනෙක් නෙවෙයි නම් ඔබ එහි යන්නේ නොමිලේ රාත්‍රී ආහාරය සඳහා පමණයි" යනුවෙන් සඳහන් කරමින්.
තවත් කාන්තාවක් විද්‍යාලයේදී ආහාර සඳහා මුදල් අවසන් වූ පසු ප්‍රේමයේ මුවාවෙන් පිට පිට රාත්‍රී භෝජන සංග්‍රහ 16 කට ගිය බව සඳහන් කර තිබුණා.
මෙය LGBTQ+ පෙම්වතුන්ට ද මෙලෙස බලපා තිබෙන බව වාර්තාවේ දැක්වෙනවා.
බලපත්‍රලත් මානසික සෞඛ්‍ය උපදේශකවරියක් සහ මූල්‍ය චිකිත්සකවරියක් වන අජා එවන්ස් පවසන්නේ, නොමිලේ ආහාර වේලක් සඳහා පෙම් හමුවක් වෙත යන ඇගේ සේවාදායකයින්, දැනටමත් මූල්‍යමය වශයෙන් කනස්සල්ලෙන් සිටින්නන් බවයි.
අරමුණ පුද්ගලයා ගැන උනන්දු වීම නොවුණත්, එළියට ගොස් රාත්‍රී ආහාරය, කෝපි හෝ බීම පානය කිරීම විනෝදයක් ලෙස හැඟෙන බැවින් ඔවුන් එලෙස ක්‍රියාකරන බව ඇය පවසනවා.
වයස අවුරුදු 30 ට අඩු වැඩිහිටියන්ගෙන් අඩකට වඩා පෙම්වතුන් සොයාගන්නා (Dating Apps) භාවිතා කරන අතර, එවන්ස් පවසන්නේ මෙම යෙදුම් ඊට දායක වන බවයි.
එවන්ස් නොමිලේ කෑම සඳහා දිනයන්වලට යාම (Date-for-dinner strategy) නිර්දේශ කරන්නේ නැහැ.
ඒ වෙනුවට, යමෙකුට උනන්දුවක් නැති පුද්ගලයන් නොමඟ යැවීමට ඉඩ නොදෙන ලෙස ඇය උපදෙස් දෙනවා.
එවන්ස් නිර්දේශ කරන්නේ, පෙම් හමුවකට ආරාධනා කළේ කවුරුන් වුවද, පළමු දිනයට පෙර අයවැය ගැන කතා කිරීම වැදගත් බවයි.
විවිධ මිල ගණන් පරාසයක පවතින අවන්හල් හෝ බාර් යෝජනා කිරීම, බිල බෙදා ගැනීම පිළිබඳව දෙපාර්ශවයම එකඟද, නැතහොත් එක් අයෙකු ගෙවනු ඇතැයි අපේක්ෂා කරන්නේද යන්න පැහැදිලි කර ගැනීම වැනි කාරණා සාකච්ඡා කිරීම සුදුසු බව ඇය පෙන්වා දෙනවා.
මූල්‍ය කාරණා ගැන කතා කිරීම අපහසු වුවද, බිල පැමිණෙන විට එකිනෙකා දෙස බලා සිටීම හෝ තම පසුම්බිය දෙස බලා භීතියට පත්වීම වැළැක්වීමට මෙය උපකාරී වන බව එවන්ස් පවසනවා.
Gen Z පරම්පරාව ඔවුන්ගේ වැටුප්, අයවැය සහ ණය ගැන වැඩිහිටි පරම්පරාවට වඩා විනිවිදභාවයෙන් කටයුතු කිරීමට කැමැත්තක් දක්වන බව ද එවන්ස් පෙන්වා දෙනවා.
මෙම විවෘතභාවය ප්‍රයෝජනවත් විය හැකි නමුත්, එය සංවේදීතාවයේ මට්ටමක් වන බැවින් සමහරුන්ට අපහසු විය හැකි බවයි ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ.