සිය 330 වන එක්දින තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ටී.එම්. ඩිල්ෂාන් සිය ජාත්‍යන්තර එක්දින තරග බිමෙන් සමු ගැනීමෙන් පසුව එක්වූ මාධ්‍ය හමුවේදී හෙළිකළ ඇතැම් කරුණු හේතුවෙන් මේ වන විට සමාජජාල මෙන්ම මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් කතාබහක් ඇතිව තිබෙනවා.
එම මාධ්‍ය සාකච්ඡාවේදී ඩිල්ෂාන් පවසා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ සමයේදී කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයින්ගෙන් මෙන්ම පුහුණුකරුවන්ගෙන් ද තමන්ට සහයක් නොලැබුණු බවයි.
ඔහු එම අවස්ථාවේ පවසා සිටියේ මෙවන් දෙයක්.....
- ඇත්ත කිව්වොත් තව අවුරුද්දක් දෙකක් ලේසියෙන් ක්‍රීඩා කරන්න පුළුවන්. මං අවුරුද්දක් දෙකක් ගහලා අයින් වුණොත් අයින් වෙන්න තියෙන්නේ ලෝක කුසලානයට අවුරුද්දක් එකහමාරක් තියෙද්දී. මං ඒක රටට සහ කණ්ඩායමට කරන ලොකු අසාධාරණයක්. වෘත්තීය මට්ටමෙන් නම් පුහුණුකරුවෙක් වෙන්නේ නැහැ. සුමානයක් වැඩ කරලා අවශ්‍ය දෙයක් තියෙනවානම් මං ඉගෙනගත්ත දෙයක් මගේ ක්‍රිකට් ජීවිතයෙන් මං අනිවාර්යයෙන් මගේ නවකයින් වෙනුවෙන් ඒ දේ කරන්න ආසාවෙන් ඉන්නවා.
ප්‍රශ්නය- ක්‍රීඩාවෙන් අයින් වෙච්ච බොහොම දක්ෂයෝ දේශපාලනයට යොමු වෙනවා. ඔබත් ඒ වගේ දේකට යොමු වෙනවාද..?
පිළිතුර - මේ වෙනකොට කිසිම තිරණයක් නැහැ. ආයි කාර්යබහුල වෙන්න මං ආස නැහැ මගේ ජීවිතයේ. දේශපාලනයට එන්න නම් තාම නැහැ කිසිම හේතුවක්.
ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගැනීමෙන් පසු තමන්ගේ බලාපොරොත්තු පිළිබඳවත් ඩිල්ෂාන් පැවසුවා.
මගේ ගෙදර අය, මගේ බිරිඳ, දරුවෝ, දෙමාපියෝ මං දැන හිතලා තියෙන්නේ ඒ ගොල්ලෝ වෙනුවෙන් මං කාලය යොදවන්න ඕන. මොකද ඒ ගොල්ලෝ සෑහෙන කාලයක් ඒ ගොල්ලන්ගේ දේවල් කැප කළා මං වෙනුවෙන්.
2009 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ අවස්ථාවේදී තමන් මුහුණ දුන් අමිහිරි අත්දැකීම් පිළිබඳවත් ඩිල්ෂාන් ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී සිය හඩ අවදි කළා.
- ටෙස්ට් තරගයක් ජයග්‍රහණයක් කරලා තියෙන්නේ සවුත් අප්‍රිකාවලදී මගේ නායකත්වයෙන් විතරයි. සෑහෙන ප්‍රශ්න තිබුණා මට. නායකයෙක් හිටියේ නැහැ නායකත්වය කරන්න. ඔක්කොම අයින් වුණා. මං ඇත්තටම කැමති වුණේ නැහැ නායකත්වය භාරගන්න. මොකද මගේ කිසිම අදහසක් තිබුණේ නැහැ.
එංගලන්තයේදී මගේ අතට බෝලයක් වැදිලා ඇගිල්ල කැඩුනාට පස්සේ හිටපු නායකයින්ට කිව්වා නායකත්වය භාරගන්න කියලා. බැහැයි කිව්වා. ඇන්ජලෝ මැතිව්ස් මං නායකත්වය කරපු අවුරුද්ද පුරාම ඔහුට පන්දු යවන්න බැරි ප්‍රශ්නයක් තිබුණා. මම අයින් වෙලා සතියක් යනකොට ඇන්ජලෝ මැතිව්ස් පන්දු යවන්න පටන් ගත්තා. ඒක මහේලගේ වාසනාව වෙන්න ඇති. මගේ අවාසනාව වෙන්න ඇති. ඒ හැම දෙයක්ම පැත්තකට තියලා අලුත් නායකයෙක් ආවා. ඔස්ට්‍රේලියාවට ගියා. ලකුණු 500 ක් ගැහුවා. තරගාවලියේ වීරයා වුණා.
ක්‍රීඩකයින් විතරක් නෙමෙයි හිටපු සමහර පුහුණුකරුවන්ගෙනුත් ඒක ලැබුණේ නැහැ. මොකද මම නායකත්වය කරද්දී පුහුණුකරුවෝ 4 දෙනෙක් හෝ 5 දෙනෙක් හිටියා. ඒ අවුරුද්ද ඇතුළත. මට ලොකු ප්‍රශ්නයක් වුණා ඇයි මේ නවකයින්ට මෙච්චර අවස්ථාව දෙන්නේ කියලා. මට සංතෝසයි මොකද ඒ අවුරුද්ද පුරා මම ගෙනාපු ක්‍රීඩකයෝ තමයි අද තරග ජයග්‍රහණය කරන්නේ. මට ප්‍රශ්නයක් නැහැ කවුද නායකයා, කවුද මාව අයින් කළේ. හැම වෙලාවෙම මං සෙල්ලම් කරන්නේ මගේ රටට. ඒ හැම ප්‍රශ්නෙම මම තනියෙන් තියාගත්තා.
ඒ අවුරුද්ද පුරාවට. ප්‍රශ්න දැන් කියලා වැඩක් නැහැ. ඒවා පහුගිය දේවල්. මොකද උඩ බලන් කෙළ ගැහුවාම අපේ මූණටමයි වැටෙන්නේ. අපේ ක්‍රීඩකයෝ. අපි ඒ ගොල්ලන්ව ආරක්ෂා කරගත යුතුයි. මේ වෙලාවේ මං ප්‍රශ්නයක් තියලා ගියොතින් ඉදිරියට අපේ නවකයින්ටත් ඒක ප්‍රශ්නයක්. පහුගිය දේවල්, යටගිය දේවල් එහෙම යට ගියදෙන්. අපි කරන්න ඕන අපේ නවකයින් එක්ක ඉස්සරහට යන්න. VIDEO