බිමල්-සුජානි කියන්නේ ක්ෂේත්‍රයේ ඉන්න ආදරණීයම යුවළක්. බිමල් පුංචි තිරයේ දකින්න ලැබුණත් සුජානි නම් දකින්න ලැබෙන්නෙම නෑ. ඒ නිසාම ඔවුන් දෙපළගේ අලුත් තොරතුරු සති අන්ත පුවත් පතක මෙලෙස සටහන් වී තිබුනා.
මොනවද අලුත් තොරතුරු?
වෙනදා වගේම රූගත කිරීම් එක්ක තමයි කාලය ගත වෙන්නේ. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන මගේම ගීතයක් එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.
කවදා වගේද බිමල් ඒ ගීතය එළිදක්වන්න බලාපොරොත්තු වෙන්නේ?
ජුනි මාසේ 21 වැනිදාට තමයි මගේ උපන් දිනය යෙදිලා තියෙන්නේ. එදාට තමයි ගීතය එළිදක්වන්න ඕන කියන බලාපොරොත්තුව තියෙන්නේ.
විනෝදාංශයක් විදිහටද මේ ගීතය ගායනා කළේ?
විනෝදාංශයක් විදිහට නෙවේ මම මේ දේවල් කරන්නේ. පාසල් කාලයේ මම සංගීතය විෂයක් විදිහට හදාරපු කෙනෙක්. රංගනයට එන්න කලිනුත් විෂයයක් විදිහට සංගීතය ගැන තමයි මම හැදෑරුවේ. බැරි බැරි ගානේ සින්දුවක් කියන්න හදනවා නෙවේ. ගුණාත්මක නිර්මාණයක් ඉදිරිපත් කරන්නේ කොහොමද කියන එකයි මෙලෙස අත්හදා බලන්න යන්නේ.
පද රචනය, සංගීතය කාගේද?
පද රචනය නම් වජිර මහකළමුල්ල, තනුව ධිරන් විජේසිංහගේ සංගීත නිර්මාණය නදීක ජයවර්ධන.
රංගන ක්ෂේත්‍රයට එකතුවෙලා කොපමණ කාලයක් වෙනවාද?
අවුරුදු පහළොවක් දහසයක් මම මේ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්නවා.
රංගනය ගැන ඔබ තෘප්තිමත්ද?
තෘප්තිමත් නෑ. රංගනය ගැන විෂය මූලිකවම හදාරපු පිරිසක් නෙවේ අපි. සමාජය දිහා බලලා තමයි ඒ ගැන හදාරන්නේ. ඒ ගැන කලකිරීමක්වත් පසුතැවීමක් නෑ. නමුත් තෘප්තිමත් වෙන්න තවම හරියට වැඩ ලැබිලා නෑ කියලා තමයි කියන්න තියෙන්නේ.
ක්ෂේත්‍රයට එකතු වන නවකයන්ගෙන් බිමල්ට අභියෝගයක් නැද්ද?
අභියෝගයක් නම් නෑ. ඒත් තක්සේරුවේ ගැටලුවක් තියෙනවා. මුදලදි තමයි එය බලපාන්නේ. මම කෙනෙක්ට වටිනාකමක් කීවත් ඊට අඩු වටිනාකමකට තව කවුරු හරි ඉන්නවා.
වර්තමානයේ ශිල්පීය වටිනාකමට වඩා කවුරු හරි දාලා ඒ දේ කරන්නයි බලන්නේ. පෙර පරම්පරාවටත් ඒ දේම වෙන්න ඇති. අපි ක්ෂේත්‍රයට ආපු කාලේ ඒ ගැන ධනාත්මකව තමයි මම නම් හිතන්නේ. ඒ වගේම කියන්න ඕන අභියෝගයක් කරන්න පුළුවන් ශිල්පීනුත් ඉන්නවා කියලා.
වෘත්තීය රංගන ශිල්පියෙක් විදිහට ලැබෙන තක්සේරුව ගැන සෑහීමකට පත්වෙනවාද?
මම මිනිස්සු එක්ක ගැවසෙන කෙනෙක්. බොහෝ යාළු මිත්‍ර සම්බන්ධතා මට තියෙනවා. ඒවා ඇතුළේ තමයි මම ජීවත් වෙන්නේ. මුදල් ගැන හිතලා වැඩ කරන්නේ නැති නිසා අහිමිවුණු දේවල් විශාලයි. ඇතැම් වෙලාවට මගේ බිරිඳ පවා දොස් කියනවා මගේ වටිනාකම තියාගන්නේ නෑ කියලා. බිරිඳ නිතරම ඒ ගැන කියනවා. හැබැයි මම වැඩ ගොඩක් බදාගෙන ගෙවන්න බැරි තරමේ ලොකු වාහන අරගෙන, හදන්න බැරි තරම් ගෙවල් හදාගන්න දඟලන කෙනෙක් නම් නෙවේ. දැනට මගේ මට්ටමට ගැළපෙන වෘත්තීය වටිනාකමක් මට ලැබෙනවා.
බිරිඳ රංගනයෙන් ඈත්වීම ගැන ඔබ මොකද හිතන්නේ?
අපිට වඩා ඇය අත්දැකීම් බහුල රංගන ශිල්පිනියක්. මේ මොහොතේ කෙරෙන වැඩත් එක්ක ඔවුන්ට ඇයගේ වටිනාකමට තක්සේරු කරන්න විදිහක් නෑ. මම නිතරම කියන්නේ වටිනාකමයි, දක්ෂතාවයි තියාගෙන සමාජයේ තියෙන පිළිගැනීමයි පරිස්සම් කරගෙන ඉන්න කියලයි.
ඒ කියන්නේ රංගනයේදී ඔබ බිරිඳට තහංචි දානවා කියලද?
මම කියන්නේ දෙකයි පනහේ වැඩවලට ගිහින් නාස්ති වෙන්න ඕන නෑ කියලා. දීර්ඝකාලීනව රංගනයේ යෙදිලා විවේකයක් ඕන කියලා නිතරම ඇය කීවා. අවස්ථානුකූලව ඇය ලැබෙන අවස්ථා භාරගනීවි. මම ඇයට වැඩකට නැති වැඩවලට සම්බන්ධ වෙන්න එපා කීවට රංගනයෙන් ඈත්වෙන්න කියලා නම් නෑ.
දෙන්නම ක්ෂේත්‍රයට සම්බන්ධ නිසා අධ්‍යක්ෂණයට පිවිසුණොත් හොඳයි කියලා හිතෙන් නැද්ද?
මගේ අත්දැකීම් එක්ක අධ්‍යක්ෂණයක් නොකරාවී කියන්න බෑ. තාම ඒකට කාලය නෙවේ.
කොහොමද බිරිඳගෙන් ලැබෙන සහයෝගය?
මගේ සියලුම වැඩවලදී ලොකුම හයිය ඇයයි. මගේ රූගත කිරීමක් කියන්නේ ඇගේ වෙහෙසකර දවසක්. මගේ ලොකුම ශක්තිය සුජානි කීවොත් හරි.
ඔබ රංගනයෙන් දායක වන ටෙලි නාට්‍ය, චිත්‍රපටවලට මොන වගේ ප්‍රතිචාරයක්ද ලැබෙන්නේ?
මම හරි බයයි. දුර්වල රංගනයක් කළොත් ඇය ඒක බලයි කියලා. කවුරුත් කියනව වගේ නෙවෙයි ඒ වගේ වෙලාවක ඇය ඒ දේ නිර්ධය ලෙස විවේචනය කරලා දානවා. ඒ දේවල්වලට ඇය සාධක හොයාගෙන නිදසුන් සහිතව වරද, වරදේ ස්වභාවය, වරද සිදුවූ ක්‍රමවේදය එක්ක සම්පූර්ණ සිතාසියක් ලැබෙනවා ඇතැම් වෙලාවල්වලදී. මමත් තර්ක කරනවා. නමුත් අන්තිමට ඇගේ විවේචන නිවැරදියි කියලා හිතනවා.
දෙන්නා අතර හිත් අමනාපකම් ඇතිවෙන්නේ නැද්ද?
ඒ වගේ දේවල් අනන්ත අප්‍රමාණ වෙලා තියෙනවා. මගේ තියෙන නොසැලකිල්ල වගේම අතපසු වීම් වෙන නිසා ඇය දැඩි තීරණවලට යනවා. ඒ දේවල් ඉක්මනින් සමනය වෙනවා. ඇතැම් වෙලාවට දවසක් දෙකක් යනවා. නමුත් අපි දෙන්නා දන්නවා අපි දෙන්නාට අපි දෙන්නා විතරයි කියලා.
තරහා වුණහම කවුද මුලින්ම යාළු වෙන්නේ?
කේන්ති යද්දි අපි දෙන්නටම එකට කේන්ති යනවා. ඒ දේ අපි හඳුනාගෙන තියෙනවා. කොච්චර කේන්ති ගියත් අපි දෙන්නට අපි දෙන්නා ඕන නිසා කවුරුහරි ඉස්සර වෙලා කතා කරනවා. සැහැල්ලු, නිදහස් පවුල් ජීවිතයක් ගත කරන නිසා තරහා වෙලා ඉන්න අමාරුයි.
වසර 14ක් වෙනවා ආදරය කරන්න පටන් අරන්. ඒ ආදරය තාමත් ඒ වගේමද?
ඒ ආදරය අධික වෙහෙස, කාර්යබහුලත්වය නිසා වෙනස් වෙනවා. අමනාපකම්, හිත් රිදීම් එක්ක එහෙම වෙනවා. ආදරය සියයට අනූවක් තියෙනවා. එතැනින් පහළට නම් ගිහින් නෑ.
බිමල්ගේ කතාබහෙන් අනතුරුව ඔහුගේ ආදරණීය බිරිඳ සුජානිව කතාබහට එකතු කරගත්තා
කොහොමද මේ දවස්වල කාලය ගතවෙන්නේ?
කාර්යබහුලත්වයක් නෑ. කරපු ටෙලි නාට්‍යයක වැඩකටයුතු ටිකක් තියෙනවා. අලුත් ටෙලි නාට්‍යයකට කතා කරලා තියෙනවා.
ඒ කියන්නේ ඔබ රංගනයෙන් ඈත්වෙලා නෑ කියලද?
ඉස්සර තරම් රංගනයට කාලය යොදවන්නේ නෑ. මගේ පවුලට මුල්තැන දීලා මගේ නිදහස තියාගෙන තමයි රංගන කටයුතු භාරගන්නේ.
වෘත්තීමය රංගන ශිල්පිනියක් ලෙස ඉඳලා රංගනයෙන් ඈත්වුණ එක ගැන දුකක් නැද්ද?
පොඩ්ඩක්වත් නෑ. එක කාලයකදී ගොඩක් කාර්යබහුල වෙලා මම වැඩ කළා. සමහර වෙලාවට ආස චරිත කරන්න නොලැබුණු එක ගැන පොඩි දුකක් තියෙනවා.
ගෙදර වැඩ සියල්ලම වෙන්නේ ඔබ අතින්ද?
ඔව්. මුල ඉඳන්ම අපි අපේ වැඩ කරගත්තා. බිමල් කාර්යබහුල නිසා දැන් සියලුම වැඩ මගේ අතින් සිද්ධ වෙනවා. ඔහුට විවේකයක් ලැබුණහම සමගියෙන් ගෙදර වැඩ බෙදාගෙන කරනවා.
ගෙදරටම වෙලා ඉද්දී හිතෙන්නේ නැද්ද ජීවිතේ ඒකාකාරීයි කියලා?
පොඩ්ඩක්වත් හිතෙන් නෑ. මොකද ගෙදර සෑහෙන්න වැඩ තියෙනවා. ගෙදර ඉද්දි මම චිත්‍රපට බලන්න වගේම පොත් බලන්න වැඩි කාලයක් යොදවන නිසා ඒකාකාරියි කියලා හිතෙන් නෑ.
මගතොටේදී ලැබෙන ප්‍රතිචාර මොන වගේද?
මිනිස්සුන්ට තාමත් මතක සතෙන් සතේ දැන්වීමේ සුජානිවම තමයි. කොච්චර ටෙලි නාට්‍ය කරත් හැමෝටම මතක ඒ ඇඩ් එක. මැරෙනකම් ඒ වෙළෙඳ දැන්වීම නම් මිනිස්සුන්ට අමතක වෙන එකක් නෑ කියලයි මට හිතෙන්නේ.
බිමල් තහංචි දාලා තියෙනවාද රංගනයේ යෙදෙනවාට?
එහෙම තහංචි දාලා නෑ. බලපෑම් කරන්නෙත් නෑ. රංගනයට අවස්ථා ලැබුනහම ඔහුත් එක්ක මම කතා කරනවා. එයාගේ අදහස මට ප්‍රකාශ කරනවා. මමයි තීරණය කළේ රංගනයෙන් ඈත් වුණොත් හොඳයි කියලා. නැතුව බිමල් කියලා නෙවේ.
තාමත් සුජානිට තරහා යනවාද?
ඔව්. ඉතින් ඉස්සර ඉඳන් මට නම් තරහා යනවා. සමාජයේ අසාධාරණකම්වලට හරියට තරහා යනවා. පුද්ගලික ජීවිතේ නම් ඒ තරහා ඉක්මනින්ම නිවෙනවා.
ක්ෂේත්‍රයේ ඉන්න බොහෝ අයගේ පවුල් ජීවිතේ අවුල් වන්නේ ඇයි?
ඒකට හේතුව නම් දන්නේ නෑ. හොඳ අවබෝධයක් තිබුණොත් අවුල් ඇතිවෙන්නේ නෑ. අපි ආදරය කරලා කසාද බැඳලා අවුරුදු දාහතරක් වෙනවා. එහෙම ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ හොඳ අවබෝධය නිසා කියලයි මම හිතන්නේ.
ව්‍යාපාරයක් පටන් ගන්න අදහස් තියෙනවා කියන්නේ ඇත්තද?