සොරකම් කරන ලද යතුරුපැදි මිලදී ගෙන කොටස් කර විකුණන ස්ථානයක් ගල්නෑව - නෑගම ප්‍රදේශයේදී සොයාගෙන තිබෙනවා.
එහි තිබී යතුරුපැදි ලියාපදිංචි අංක තහඩු 23ක්, අමතර කොටස් වර්ග 17ක්, යතුරුපැදි චැසි දෙකක් සහ එක් එන්ජිමක් සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඊයේ කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
මෙරට සිදුවන යතුරුපැදි සොරකම්වල ප්‍රවණතාවක් දක්නට ලැබෙන අතර ඊයේ දිනයේදී ද එලෙස යතුරුපැදි 6ක් සොරකම් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියා.
ගල්නෑව ප්‍රදේශයන් හමුවූ ස්ථානය එලෙස සොරකම් කරන යතුරුපැදි මිලදී ගන්නා ස්ථානයක් බවටයි සැක කෙරෙන්නේ.
එහිදී හමුවූ අංක තහඩු සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව සමග පරීක්ෂණ සිදුකරන බව අජිත් රෝහණ මහතා කියාසිටියා.
ඔහු ඉල්ලා සිටියේ යතුරුපැදි සොරකම් කිරීමේ සංවිධානාත්මක කණ්ඩායම් පිළිබඳ වාර්තා වී ඇති බැවින් යතුරුපැදි ගාල් කිරීමේදී නිරන්තරයෙන් ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසටයි.
යතුරුපැදි සොරකම් කිරීමේ ප්‍රවණතාවක් පවතින අතර යතුරුපැදි ගාල් කිරීමේදී ආරක්ෂිත ස්ථාන පමණක් භාවිත කරන ලෙසට ද ඔහු දැනුම්දෙනවා.