පසුගිය 2017 වර්ෂයේදී අයි.සී.සී. ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර පැවති තරගය කාගේත් අවධානය දිනාගත් තරගයක් වුණා.
ඇතැමෙකුට අනපේක්ෂිත වූ ශ්‍රී ලංකා පිලේ මෙම විශිෂ්ට ජයත් සමඟ සමාජ මාධ්‍ය තුළ ප්‍රධාන මාතෘකාව බවට පත්වූයේත් අනිකක් නොව ඉන්දු ලංකා ක්‍රිකට් තරගයයි. මේ අතරවාරයේදී You Tube හරහා හුවමාරු වෙමින් පැවැති අපූරු වීඩියෝවක් තිබුණා.
ජමීල් හසන් නමැති පාකිස්තාන තරුණයා ඉන්දු ශ්‍රී ලංකා තරගය රූපවාහිනිය නරඹමින් සිටියදීම වීඩියෝ කර එය අන්තර්ජාලයට මුදා හැර තිබුණා.
කැඩුණු සිංහලෙන් නමුත් නිවැරදි උච්ඡාරණය සහිතව ශ්‍රී ලංකා ජාතික ගීය පවා ගයමින් ශ්‍රී ලංකා පිලට සුබපතමින් ඔහු නිකුත් කර තිබූ වීඩියෝව ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රසාදයටත් අවධානයටත් ආදරයටත් ලක්වුණේ ක්ෂණයකින්.
කවුද මේ ජමීල්යැයි විශේෂයෙන්ම Facebook හරහා සොයා බලන්නට බොහෝ ශ්‍රී ලාංකිකයන් පෙළඹුණේද ඒ වීඩීයෝව නිසාමයි.
ඉන්දු ලංකා ක්‍රිකට් තරගයකදී පාකිස්තානුවන් ශ්‍රී ලංකා පිලට සුබ පැතීම සාමාන්‍ය දෙයක් නමුත් වැඩිදුර සොයාබැලීමේදී දැනගැනීමට ලැබුණේ ජමීල් පාකිස්තාන ශ්‍රී ලංකා තරගයකදී පවා ශ්‍රී ලංකා පිලට සහාය ලබාදෙන සියයට සියයක්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලියෙකු බවයි.
කොහොම වුණත් ඊයේ (04) දිනයේදී ජමාල් ගැන හදිසියේම අහන්න ලැබුණේ ඔහු විසින් ලංකාවේ ජාතික ගීය ගයමින් නිදහස් දිනයට සුභාශිංසන එක් කිරීම නිසාවෙනුයි.
අබුඩාබි රාජ්‍යයේ සිට ඔහු මෙසේ සිය ආචාරය ශ්‍රී ලාංකීකයින් වෙනුවෙන් පුද කර තිබුණා.