ඔස්ට්‍රේලියානු තරුණයෙකු ඇපල් පරිගණක ජාලයට රහසින් ඇතුළු වී ජාලයේ අභ්‍යන්තර ගොනු (Files) බාගත කර ගෙන ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
16 හැවිරිදි මෙම තරුණයා මෙල්බන් නගරාසන්නයේ පිහිටි සිය නිවසේ සිට වසරක පමණ කාලයක් වරින්වර ඇපල් පද්ධතියට පිවිස ගිගාබයිට් 90 (90GB) ගොනු ප්‍රමාණයක් භාගත (Download) කර ගෙන ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
මෙම තරුණයා ඔහුගේ පරිගණකයේ 'හැකී හැක් හැක් (hacky hack hack)' යනුවෙන් නම් කරන ලද ගොනුවක් තුළ ඔහු රහසේ බාගත කළ ලේඛන ගබඩා කර තිබූ බවටද මේ වන විට හෙළි වී තිබෙනවා.
කෙසේවතත් මෙම තරුණයාගේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කළ වරද මේ වනවිට පිළිගෙන තිබෙන බවත් වාර්තා වනවා.
කෙසේවෙතත්, සිදු වූ මෙම සිදුවීමෙන් පාරිභෝගිකයින්ගේ පෞද්ගලික දත්ත පිටවී නොමැති බවද ඇපල් සමාගම මේ වනවිට තහවුරු කර තිබෙනවා.
"මෙම ජාල අපි දැඩි ලෙස ආරක්ෂා කරනවා වගේම, තර්ජන හඳුනාගැනීමට සහ ප්‍රතිචාර දැක්වීමට, ඒ වෙනුවෙන් කටයුතු කරන තොරතුරු ආරක්ෂණ වෘත්තිකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් කැපවීමෙන් කටයුතු කරනවා" යැයි ඇපල් සමාගම පවසයි.
මෙම තොරතුරු අනාවරණය වීමත් සමඟ ස්මාර්ට්ෆෝන් වෙළෙඳපොළේ දැවැන්තයා මෙම සිද්ධිය පිළිබඳ ඇමරිකානු රහස් පොලිසියට (FBI) දන්වන ලද අතර, ඔවුන් එය ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) වෙත යොමු කර ඇතැයි අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රකාශයක සඳහන් වී තිබෙනවා.
ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය තරුණයා ජීවත් වූ නිවස වැටලූ අතර, ලැප්ටොප් පරිගණක දෙකක්, ජංගම දුරකථනයක් සහ පරිගණක දෘඪ තැටියක් එහි තිබී සොයා ගන්නා ලදී. ඇපල් පද්ධතියට පිවිසි උපකරණවල අනුක්‍රමික අංක මෙම පරිගණකවල අංකවලට සමාන විය.
තමන් ඇපල් සමාගමට දැඩි ලෙස ප්‍රිය කරන නිසාත්, කිසියම් දිනක තමන් එහි සේවය කිරීමට සිහින මවා ඔවුන්ගේ පද්ධතිවලට ඇතුළු වූ බවයි ඔහු වැඩි දුරටත් පවසා ඇත්තේ.
සිය ක්‍රියාකාරකම් පිළිබඳ වර්ණනා කරමින් 'වට්ස් ඇප්' පණිවුඩ යැවීමට මෙම තරුණයා කටයුතු කර ඇතැයිද වාර්තා වනවා.
ඔහුගේ නීතිඥවරයා පැවසූවේ අනවසරයෙන් පරිගණක පද්ධති තුළට පිවිසෙන්නන් අතර (හැකරුන්) මෙම තරුණයා ඉතා ප්‍රසිද්ධියට පත්ව ඇති බවයි.
නීතිමය හේතු නිසා තරුණයාගේ නම ප්‍රසිද්ධියට පත් කර නොමැති අතර සැප්තැම්බර් 20 වෙනි දින ඔහුට අදාළ දඬුවම අධිකරණයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ..