1948 අප නිදහස ලැබීමට ආසන්න යුගයේ ජාතික ගීයක් තෝරා ගැනීමට තරගයක් පැවැත්වුණා.
එහි මුලිකත්වය ගත්තේ ශ්‍රී ලංකා ගාන්ධර්ව සභාව. එම තරගයට ජෝර්ජ් විල්ප්‍රඞ් අල්විස් සමරකෝන් "නමෝ නමෝ මාතා’’ ගීතය ඉදිරිපත් කළත් ජයගත්තේ "ශ්‍රී ලංකා මාතා පාලා යස මහිමා ජය ජය’’ ගීයයි.
48 පළමු නිදහස් සැමරුම් උත්සවයේදී ගායනා කළේත් එම ගීයයි. එහි රචකයා ප්‍රකට කවියෙකු වූ පී.බී. ඉලංගසිංහ ශූරීන්. සංගීතය හා තනුව සංගීත විශාරද ලයනල් එදිරිසිංහ ශූරීන්ගේ.
ඒ කාලේ සමරකෝන් , ස්වර්ණාද සිල්වා සමග ගැයු ‘‘නමෝ නමෝ මාතා’’ ගීතය රට තුළ විශාල ජනප්‍රියත්වයක් ලබා තිබුණා .
ඒ වුනාට ඉලංගසිංහ සහ ලයනල් එදිරිසිංහ දෙදෙනාම එම ගී තරගයේ විනිශ්චය මණ්ඩලයේ සිටි නිසා ඒ තුළ අක්‍රමිකතාවක් සිදු වූ බවටචෝදනා එල්ල වීම හේතුවෙන් ආණ්ඩුව එම ගීතයේ නිල පිළිගැනීම අහෝසි කළා .
1950 අප්‍රේල්වලදි එවකට මුදල් ඇමැති ජේ.ආර්. ජයවර්ධන මහතා කැබිනට් සංදේශයක් ඉදිරිපත් කරමින් කීව්වේ ජාතික උත්සවවලදී අනිවාර්යෙන් ගැයෙන ගුවන් විදුලියේ නිතර ඇසෙන ජනතාව විසින් ද නිල නොවන ජාතික ගීය ලෙස ගෞරව කරන ‘‘නමෝ නමෝ මාතා’ගීතය අපේ ජාතික ගීය ලෙස පිළිගත යුතු බවයි.
දීර්ඝ සංවාදයකින් පස්සේ සමරකෝන් ලවාම වචන 02 ක සුළු වෙනසක් කරවා 1951 නොවැම්බර් 22 දා ‘‘නමෝ නමෝ මාතා’’ ශ්‍රී ලංකාවේ ජාතියේ ගීතය බවට පත් වුනා.. එහෙත් ඊට පෙර 1949 නිදහස් උළෙලේදී ද එම ගීතය සිංහලෙන් මෙන්ම දෙමළනේද ගායනා වී තිබෙනවා.
ජී. ජී. පොන්නම්බලම් මහතාගේ යෝජනාවකට අනුව ජාතික ගීයේ දහවන පේළිය වශයෙන් සඳහන් වන "නැවත අප අවදි කරන් මාතා" වෙනුවට "නීතින අප පුබුදු කරන් මාතා" යන්න ඇතුළත් කොට සංශෝධනය කළ බවත් "එක මවකගේ දරු කැළ බැවිනා" යන්න "එක මවකගේ දරු කැළ ලෙසිනා" යන්නෙන් සංශෝධන අපේක්‌ෂා කළ බවත් සඳහන් වනවා.එහෙත් මුල් රචනය වන "එක මවකගේ දරුකැළ බැවිනා" යන්නම පැවතිය යුතු බවට 1952 ජනවාරි 4 වෙනි දා දින පැවති කැබිනට් මණ්‌ඩලය තීරණය කළ බවයි පැවසෙන්නේ.
1953 දී ජාතික ගීය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාවේ දී ගායනා කර තැටිගත කිරීමට සීදුව අන්ධ විදුහලේ සිසුන් ගායනයෙන් දායක වී ඇති අතර එහි සම්පුර්ණ වාදන කාලය ලෙස මිනිත්තු 2යි තප්පර 19ක් ලෙස සඳහන්.
1955 පෙබරවාරි 4 වෙනිදා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාවේ දී දෙමළ භාෂා මාධ්‍යයෙන් තැටි ගත කළ අතර එය ගායනා කළේ මීනා හා සංගරී යන දෙදෙනා.එය එදින ගුවන් විදුලිය මගින් විකාශනය කළ බව ද සඳහන්.
නමුත් සමරකෝන්ට නින්දා, මඩ, අභූත චෝදනා රැසක් එල්ල වන්නට වුණා .ආණ්ඩු පෙරළුණේ, රාජ්‍ය නායකයන් මියගියේ රට තුළ නොසන්සුන්තා ඇතිවන්නේ ජාතික ගීයේ අපල නිසා බවද ‘‘නමෝ’’ පදයේ ‘‘න’’ අක්ෂරය අසුබ බවට දසමහරු අර්ථ දැක්වීම ඊට හේතුවයි..
1961 දී "නමෝ නමෝ මාතා", ‘‘ශ්‍රී ලංකා මාතා’’ ලෙස සමරකෝන්ටද නොදන්වා වෙනස් වූයේ ඒ පසුබිම තුළයි . ඒ ගැන ඔහු දැඩිසේ කම්පා වූ අතර මේ අසාධාරණයට එරෙහිව තමා ජීවිතයෙන් වන්දි ගෙවන බවට ඔහු කීවත් එය කිසිවකුත් ගණන් නොගැනීමේ ප්‍රතිපලය වූයේ දෙවරක් නිදි පෙති බී , තුන් වැනි වරද නිදිපෙති 30 ක් පානය කිරීමයි. එයින් 1962 අප්‍රේල්02 දා ජාතියම හඬවමින් ඔහු මාතෘ භූමියට සමු දුන්නා.
ජෝර්ජ් විල්ප්‍රඞ් අල්විස් සමරකෝන් වෙන කිසිවෙකුත් නොව 1936 දී ශාන්ති නිකේතනයට ගොස් සංගීතය හා චිත්‍ර හදාරා ගුරුවරයකු ලෙස බද්දේගම ශ්‍රී රතනසාර විද්‍යාලයෙන් පසුව ගාල්ලේ මහින්ද විද්‍යාලයෙන් වෘත්තීය ජීවිතය ඇරැඹු අපගේ ආනන්ද සමරකෝන් ශුරීන්ය.