මෙන්න ඒ අභිරහස විසඳමින්, සතොස පිටුපස තිබුණු ඇඟ කිලිපොළා යන මූල්‍ය අර්බුදයේ ඇත්තම කතාව අද පාර්ලිමේන්තුවේදී නිල වශයෙන් හෙළිදරව් වුණා.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා පාර්ලිමේන්තුව අමතමින් පැවසුවේ, 2024 ජනවාරි මාසයේ සිට 2025 ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ පමණක් සතොස අලෙවිසැල් 31ක් වසා දැමීමට සිදුවූ බවයි. 2026 අගෝස්තු 17 වන විට රට පුරා ඉතිරිව ඇත්තේ සතොස ශාඛා 424ක් පමණක් බවත් ඔහු අනාවරණය කළා.
භාරගනිද්දී තිබුණු තත්ත්වය: වත්මන් රජය සතොස භාරගන්නා විට ආයතනය රුපියල් බිලියන 24ක (කෝටි 2400ක) අතිවිශාල පාඩුවක හිරවී තිබී ඇත.
පිටත ණය බර: බාහිර පාර්ශ්වයන්ට ගෙවීමට තිබූ ණය ප්‍රමාණය බිලියන 11ක් වූ අතර, බැංකු ඕවර්ඩ්‍රාෆ්ට් (OD) ප්‍රමාණය පමණක් බිලියන 5ක් ඉක්මවා තිබිණි.
මාසික ලේ ගැලීම: රජය භාරගන්නා මොහොත වන විටත් සතොස මාසිකව ලැබූ පාඩුව රුපියල් මිලියන 160කි.
පෞද්ගලික සුපිරි වෙළඳසැල් ක්ෂණිකව මුදල් ගෙවා භාණ්ඩ මිලදී ගෙන ඉහළ කොමිස් මුදල් ලබද්දී, සතොසට ටෙන්ඩර් පටිපාටි හරහා ගෙවීම් කිරීමට මාසයකට අධික කාලයක් ගතවීම නිසා විශාල අවාසියක් සිදුවූ බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
එහෙත් මේ සියලු බාධක මධ්‍යයේ, පසුගිය මාසය වන විට සතොස ආයතනය ඓතිහාසික හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් නැවත ලාබ ලබන මට්ටමට ගෙන ඒමට හැකිවූ බවයි ඔහු අවධාරණය කළේ. ලැබෙන කොමිස් මුදල් වාසිය පවා ජනතාවට ලබා දෙමින් පසුගිය දිනවල භාණ්ඩ රැසක මිල පහත දැමීමටද පියවර ගෙන තිබෙනවා.