මේ පුවත වාර්තා වෙන්නේ ඉන්දියාවේ කාන්පූර් නගරයෙන් අතිශය දුශ්කර ප්‍රදේශයකින්. අධ්‍යාපන ක්‍රමයේ පීඩනය සහ සමාජ අපේක්ෂාවන් දරාගත නොහැකිව සිසුවියන් දෙදෙනෙකු මෙලෙස සිය දිවි හානි කරගෙන තිබෙනවා.
දහවන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ වෛශාලි සිං, CBSE විභාගයෙන් සියයට 92ක විශිෂ්ට ලකුණු ප්‍රතිඵලයක් ලබා ගැනීමට සමත් වුණා.
එහෙත් ඇය බලාපොරොත්තු වූ සියයට 95ක ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වීම ඇයට මාරාන්තික වේදනාවක් වුණේ කිසිවෙකුත් නොසිතූ ලෙසයි.
වසර දෙකකට පෙර පියා අහිමි වූ වෛශාලිගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඇගේ මව වෙළඳ සංකීර්ණයක රැකියාව කරමින් දැඩි කැපකිරීමක් කර තිබුණා. මියයාමට පෙර ඇය තම මිතුරන් වෙත එවා තිබූ හඬ පටයක මෙසේ සඳහන්ව තිබුණා.
"මට තවදුරටත් ජීවත් වෙන්න බැහැ. මම දැන් පණ ඇති මිනියක් වගේ. මගේ මව මම වෙනුවෙන් දරන වියදම් අපතේ යනවා කියලා මට හිතෙනවා."
ඇගේ සොහොයුරු ප්‍රින්ස් පවසන්නේ පාසල් ගුරුවරුන් විසින් ඇයව නිරන්තරයෙන් මානසිකව පීඩාවට පත් කළ බවයි. "නුඹ ප්‍රින්ස්ගේ නංගි වුණාට කවදාවත් හොඳ ලකුණු ගන්නේ නැහැ" යනුවෙන් ගුරුවරුන් කළ අපහාසවලට පිළිතුරුදීමට ඇය රෑ නිදි වරා පාඩම් කර සියයට 92ක් ලබා ගත්තද, අවසානයේ එම ජයග්‍රහණය සැමරීමට ඇය ජීවත් වූයේ නැහැ.
කාන්පූර් නගරයෙන්ම වාර්තා වූ දෙවන පුවත වන්නේ 23 හැවිරිදි දන්ත වෛද්‍ය සිසුවියක වූ නාසියා හසන්ගේ අභාවයයි.
ඇය සිය නේවාසිකාගාර කාමරය තුළ ගෙල වැලලාගෙන මියගොස් තිබුණා. සිය දියණිය වෛද්‍යවරියක වන තෙක් ඇගේ පියා ඇය වෙනුවෙන් වෛද්‍ය මධ්‍යස්ථානයක් පවා ඉදිකිරීමට ඉඩමක් මිලදී ගෙන බලාපොරොත්තු දල්වා සිටියද, කිසිදු ලිපියක් හෝ හේතුවක් ඉතිරි නොකර ඇය මෙලෙස සමුගෙන තිබෙනවා.
මෙම මරණ හුදෙක් පෞද්ගලික තීරණ නොව, සමාජය සහ අධ්‍යාපන ක්‍රමය විසින් දරුවන් මත පටවන ලද දැඩි පීඩනයේ ප්‍රතිඵලයක් බව වෛද්‍යවරු පෙන්වා දෙනවා.
මනෝ වෛද්‍ය ධනංජය චෞද්‍රි පවසන්නේ සචින් ටෙන්ඩුල්කාර් වැනි පුද්ගලයින් දහවන ශ්‍රේණියේ ලකුණු පසුපස හඹා ගියේ නම් අද මුළු රටම ඔහු ගැන ආඩම්බර නොවන බවයි.
විභාග ප්‍රශ්න පත්‍රයකට දරුවෙකුගේ බුද්ධිය මැනිය හැකි වුවද, කඩදාසි කැබැල්ලකට ජීවත් වීමේ අයිතිය තීරණය කිරීමට ඉඩ දෙන සමාජයක් කිසිදා සැබෑ ජයග්‍රහණයක් අත්කර නොගන්නා බව මෙම පුවත් අපට නැවතත් සිහිපත් කර දෙනවා.
සමාජමාධ්‍යයේ පළවූ ලිපියක් ඇසුරෙන්..