ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දිනවලදී දිවයිනේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
නැගෙනහිර, මධ්‍යම, උතුරු - මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති විය හැකියි.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75ට පමණ තරමක තද වැසි ඇති විය හැකි බවටයි සඳහන් වෙන්නේ.
උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.
සෙසු ප්‍රදේශ වල පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන්.
මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශ වලත්, උතුරු, උතුරු - මැද සහ වයඹ පළාත් වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40)ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවටයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.