මාවනැල්ල පොලිස් වසමේ ගනේතැන්න පහළ කඩුගන්නාවේ නිවසක් හා වෙළෙඳසලක් මතට විශාල ගලක් සමඟ පස් කන්දක් කඩා වැටී පුද්ගලයින් හය දෙනෙකු මියගිය අනතුරින් තුවාල ලබා රෝහල්ගත කර තිබෙන හත්දෙනාගේ තත්ත්වය බරපතල නොවන බව මාවනැල්ල රෝහල් ආරංචි මාර්ග පවසනවා.
ඔවුන් මාවනැල්ල මූලික රෝහලේ 07 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
නාය යෑම සිදුවන අවස්ථාවේ උදෑසන ආහාර ගැනීම සඳහා පැමිණි හත් 07 දෙනෙකුද ඇතුළුව 10 දෙනෙකු හෝටලයේ සිට ඇති බව පොලිස් පරීක්ෂණ මගින් හෙළිව තිබෙනවා.
වෙළෙඳසලේ හිමිකරු අනතුර සිදුවන අවස්ථාවේ හදිසි අවශ්‍යතාවක් සඳහා පිටතට පැමිණ තිබෙන බව ද වාර්තා වෙනවා.
මෙම හෝටලයේ හිමිකරු පුලන්දවේල් රගුනාදන් සසිදරන් නැමැති හතළිස් හැවිරිදි පුද්ගලයෙක්.
අනතුරින් ඔහුගේ පියා වන රාසලිංගම් කරුණාකරන් (66) සහ බිරිඳ නිශාන්තනී කරුණාකරන් (39) නමැති අය මියගොස් තිබෙන අතර තුවාල ලබා සිටින මව ප්‍රතිකාර සඳහා මාවනැල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
වෙළෙඳසලේ හිමිකරු සහ දරුවන් දෙදෙනා දිවි බේරා ගැනීමට සමත්ව තිබෙනවා.
පස්කන්දට යටව සිටි පිරිස බේරා ගැනීම සඳහා පොලීසිය, යුද හමුදාව, ගිනි නිවන භටයින් ඇතුළු විශාල පිරිසක් පැය 20 ක පමණ මෙහෙයුමක් දියත් කළ අතර ඊට යටවී සිටි 13 දෙනෙකු පිටතට ගෙන සුවසැරිය ගිලන් රථ මගින් රෝහල් කරා යැවීමට පොලීසිය පියවර ගෙන තිබුණා.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ වැලිගල්ල පාර ගල්අමුණ ලිපිනයේ පදිංචි ලහිරු මධුශංක සමරකොන් ( 31), වෙළෙඳ සල් හිමිකරුගේ පියා වන රාසලිංගම් කරුණාකරන් (අවු 66), වෙළෙඳසල් හිමිකරුගේ බිරිඳ වන නිශාන්තනී කරුණාකරන් (39),කඩුගන්නාව බලවතගම ලින්ටන් ජානක කුමාර ජයසිංහ (අවු 60), ඇඹිලිපිටිය නවනගරයේ පදිංචි රුවන් කුමාර අබේසිරි සමරනායක (43), ගම්පොළ හීනරන්දෙණියේ පදිංචි ගුණරත්න මුදියන්සේලාගේ පුලස්ති බණ්ඩාර (33) නැමැති අයයි.
ආපන ශාලාවේ සේවකයෙකු වන වට්ටප්පල පදිංචි මිගහ ගෙදර සම්පත් බංඩාර ජයරත්න (අවු 44), පිළිමතලාව ඇඹිල්මීගම පදිංචි ලහිරු රුමේෂ් රත්නායක (අවු 33), පිළිමතලාවේ පදිංචි රුචිර තිලාන් මුණසිංහ, දන්තුරේ හාලියද්දේ පදිංචි චන්ද්‍රිකා නිශාන්ති (56) නමැති අය තුවාල ලබා මාවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.