ගුවන් යානයක් හදිසියේ ගොඩබෑමේදී ගිනිගෙන අනතුරට ලක්වූවද එහි ගමන් ගත් කොංගෝ රාජ්‍යයේ පතල් කටයුතු පිළිබඳ අමාත්‍යවරයා සහ ඔහුගේ දූත පිරිස ගුවන් යානයේ හානියකින් තොරව දිවි ගලවාගත් පුවතක් කොංගෝවෙන් වාර්තා වනවා.
එහි විමර්ශන ඒජන්සිය පසුව තහවුරු කළේ ජීවිත හානි සිදු නොවූ බවත්, සිදුවූයේ ද්‍රව්‍යමය හානි පමණක් බවයි.
යානය අනතුරට ලක්වන ආකාරය පෙන්වන කම්පන සහගත වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබෙනවා.
මෙම සිදුවීම පසුගිය දා දින කොංගෝ රාජ්‍යයේ ලුවාලාබා කලාපයේ කොල්වේසි ගුවන් තොටුපළේදී සිදුව තිබුණා.
අනතුරට පත් වූයේ එම්බ්‍රයර් ඊආර්ජේ-145 වාණිජ ගුවන් යානයක්.
අනතුරට පත් වන අවස්ථාවේදී මෙම ගුවන් යානයේ ගමන් කරමින් සිටියේ රටේ පතල් කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වන ලුවී වටුම් කබාම්බා යි. ඔහු සමඟ 20 දෙනෙකුගෙන් පමණ යුත් දූත පිරිසක් ද සිට තිබුණා.
අමාත්‍යවරයා සහ පිරිස සංචාරය කරමින් සිටියේ පාලමක් කඩා වැටීමෙන් 32 දෙනෙකු මියගිය කෝබෝල්ට් පතලක් වෙතට යි.
මගියෙකු විසින් මිනිත්තු දෙකයි තත්පර 51 ක දර්ශන පෙළක් ග්‍රහණය කර ගෙන තිබූ අතර, එහි දැක්වෙන්නේ ෆ්ලැප් විවෘත කළ යානය ගොඩබෑම සඳහා ස්ථාවරව පහළට එන ආකාරයයි.
කෙසේ වෙතත්, යානය විස්ථාපනය කරන ලද ධාවන පථයේ සීමාවට පෙර බිම ස්පර්ශ කිරීම හේතුවෙන් ප්‍රධාන ගියරය කඩා වැටී තිබුණා.
යානය ඇදෙමින් ධාවන පථයෙන් ඉවතට පැමිණ නතර වූ අතර, එහි පසුපස කොටසට ගිනි ඇවිලුණා.
අනතුරෙන් පසු යානයෙන් දැවැන්ත කළු දුමාරයක් පිටවන අයුරු තවත් දර්ශනවලින් පෙනීගියා.
වාසනාවකට මෙන්, ගුවන් යානයේ පසුපස භාගය ගිනි ගන්නේ නැතිවම තත්පර කිහිපයකින් සියලුම මගීන් ඉවත් වීමට සමත් වුණා.
ගුවන් යානයේ ලියාපදිංචිය සහ බඳෙහි සලකුණු අනුව, එය ඇන්ගෝලානු ක්‍රියාකරු වන එයාර්ජෙට්හි D2-AJB ගුවන් යානයක් බවට හඳුනාගෙන තිබෙනවා.
මෙම ගුවන් යානය කින්ෂාසා එන්'ඩිජිලි සිට ලුබුම්බාෂි හරහා කොල්වේසි දක්වා ක්‍රියාත්මක වූවක්.
කොංගෝවේ සිවිල් ගුවන් සේවා අනතුරු පිළිබඳ ස්වාධීන පරීක්ෂණ පවත්වන BPEA නියෝජිතායතනය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.