පහළ කඩුගන්නාව ප්‍රදේශයේ වෙළඳසැලක් මතට පස් කන්දක් කඩා වැටීමේ අනතුරෙන් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව හතරක් (04) දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මීට සුළු වේලාවකට පෙර සුන්බුන් අතර සිරවී සිටි තවත් කාන්තාවක ඇතුළු දෙදෙනෙකුගේ සිරුරු ගලවා ගැනීමේ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. ඔවුන් රෝහල් ගත කරන විටත් මියගොස් සිටි බවයි වාර්තා වන්නේ. මේ අතර, සුන්බුන් අතර සිරවූ ඉතිරි අය සොයා ගැනීම සඳහා කරනු ලබන මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. මින්පෙර, අනතුරෙන් එක් කාන්තාවක් මියගොස් තිබූ අතර, අනතුර සිදුවූ වෙළඳසැලේ සුන්බුන් අතර සිරවී සිටි තවත් පිරිමි පුද්ගලයෙකු මුදාගෙන රෝහල් ගතකළ අවස්ථාවේදී ජීවිතක්ෂයට පත්වුණා. .................... කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ පිහිටි නිවසක් හා රොටී කඩයක් මතට විශාල ගලක් සමඟ පස් කන්දක් අද පෙරවරු 8.45 ට පමණ කඩා වැටීමෙන් එහි සිටි පුද්ගලයින් 09 දෙනෙකු පමණ ඊට යටවී තිබෙන බව අනුමාන කරනවා. කඩය තුළ සිරවී සිටි සිවුදෙනෙකු පිටතට ගෙන රෝහල්ගත කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබෙනවා.
තවත් 05දෙනෙකු සොයා මේ වනවිට මෙහෙයුම් ක්‍රියාත්මකයි.
දුම්රිය මාර්ගයට පහළින් වූ විශාල ගලක් තවත් ගල් කිහිපයක් ද සමඟ නිවස හා කඩය මතට වැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව මාවනැල්ල පොලීසිය පවසනවා.
අනතුර සිදුවන අවස්ථාවේ උදෑසන ආහාරයට රොටි කෑම සඳහා එම කඩයට පැමිණි පිරිසක් ද එහි සිට තිබෙන බව වාර්තා වෙනවා.
එම පිරිස පැමිණි මෝටර් රථය වෙළෙඳසල ඉදිරිපිට නවතා තිබී ඇති අතර එම වාහනයටද අලාභහානි සිදුව තිබෙනවා.
බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් සුන්බුන් ඉවත් කර නිවස හා කඩය තුළ සිරවී සිටින පිරිස බේරා ගැනීමට යුද හමුදාව, පොලීසිය හා එක්ව ප්‍රදේශවාසීන් මෙහෙයුමක් දියත්කර තිබෙනවා.
ගල් පර්වතය සමඟ පස් කන්ද කඩා වැටීමෙන් නිවස හා රොටී කඩය සම්පූර්ණයෙන්ම සුන්බුන් ගොඩක් බවට පත්ව තිබෙන අතර සිද්ධිය හේතුවෙන් මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ අධික වාහන තදබදයක් නිර්මාණය වී තිබෙනවා.
පහළ කඩුගන්නාව ප්‍රදේශය මගහැර යෑම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
අධික වර්ෂාවත් සමඟ නාය යෑමේ අවදානමක් පවතින දිස්ත්‍රික්කයක් ලෙස මහනුවරද කාලගුණ විද්‍යා දෙපාර්තමේනත්තුව මගින් නම් කර නිවේදනය කර තිබුණා.
VIDEO