විවාහයත් එක්ක කාලයක් පබෝදා සංදීපනීව දකින්න ලැබුණේ නැහැ. නමුත් මේ දවස්වල ඇයව නිරන්තරයෙන්ම දකින්න ලැබෙනවා විවිධ චරිත ඔස්සේ. ඇය හිරු ටී.වී. ඔස්සේ හමුවන්නේ උරුමයක අරගලය සමගයි. එම නිර්මාණය සනත් අබේසේකරගේ නිර්මාණයක්. මීට අමතරව පබෝදාගේ හඩ අහන්න ලැබෙන්නේ හදකැවීම් ශිල්පිණියක් හැටියටයි. මේ ඇය ගැනයි.
පබෝදා මේ ආ ගමන දිහා ආපසු හැරී බලද්දි ඇති වන්නෙ මොන වගේ හැඟීමක් ද?
හොඳ වැඩ ටිකක් කළා. ඒ වගේම තවත් හොඳ වැඩ බොහෝමයක් මග හැරියා. අපරාදෙ මම කාලය නිකරුණේ ගෙව්වද කියාත් වෙලාවකට හිතෙනවා. මොකද මුදලට වඩා වටින්නෙ කාලයනෙ. සමහර හොඳ නිර්මාණවලට දායකවීමට බැරිවීම ගැන දුකට වඩා අපරාදෙ කියන හැඟීම තියෙන්නෙ. නමුත් මම බොහෝ වැඩ බදාගෙන කළ කෙනෙක් නෙවෙයි. මට මම විසින්ම දාගත්ත තහංචි එක්ක තමයි සමහර වැඩ අත්හැරියෙ. බබා ලැබුණාට පසුව, අම්මා කෙනෙක් ලෙස මගේ වගකීම වෙනුවෙන් නිතර මා කැප වෙනවා. කොහොමටත් කාන්තාවක ලෙස කැප කිරීම් කරන්නම වෙනවා. ඒක මේ ලෝකයේ ස්වභාවයයි. ජීවිතයේ ඒ ධර්මතාවය දැනගෙන ඊට අනුගතව ජීවත් වෙන්න උත්සාහ ගන්නවා.
එදා පුංචි ඔෂින් ලෙස මුලින්ම ක්ෂේත්‍රයට ආ මොහොත ගැන හිතෙන්නෙ කොහොමද?
එයින් ලද ආභාෂය නිසා ජීවිතයට ලොකු වටිනාකමක් ඇති වුණා. අදටත් ඔෂින් ගැන බොහෝ දෙනා කතා කරනවා. ටයි මාමා හඬ කැවීම් අංශයේ බොහෝ දෙනා නිසා බොහෝ දේ ඉගෙන ගත්තා. හඬ කැවීම් කියන්නෙ හැමෝටම කරන්න බැරි දෙයක්. ඒ හඬ කවන චරිතයේ රිද්මය හඳුනා නොගෙන හඬ කැවීම් කළොත්, ඒ චරිතයට පණක් එන්නෙ නැහැ. අපට එදා හිටපු ප්‍රවීනයන්ගෙන් බොහෝ දේ ඉගෙන ගන්න ලැබුණත් අද හඬ කැවීම් අංශයට එන බොහෝ දෙනාට ඒ වාසනාව නැති වෙලා.
කොහොමද පබෝදාගෙ විවාහ ජීවිතය?
පුතාට දැන් වයස අවුරුදු 5යි. ඉතින් අපි තුන්දෙනා ජීවිතේ එන ආකාරයට මුහුණ දී, හොඳින් ජීවත් වෙනවා.
විවාහ ජීවිතයයි රංගන ජීවිතයයි ගෙවන්නෙ කොහොමද?
වැඩි ඉඩක් දීලා තියෙන්නෙ ගෙදර ජීවිතයටයි. මහත්තයගෙන් ලොකු සහයෝගයක් එහිදී මට ලැබෙනවා. රංගන ජීවිතයේ දී මගේ අවශ්‍ය වැඩ ටික විතරක් කරලා. ගෙදර ජීවිතයට ඊට වඩා මුල් තැන දෙනවා. මම මහා ලොකුවට බිසි වූ චරිතයක් නෙවෙයි.
විවාහයෙන් පසුව ලැබෙන ආදරේ කොහොමද?
ආදරය කරන කාලයේ දී කොහොමටත් ආදරය වෙනස්නෙ. එතකොට ආදරවන්තයින්ම විතරයි. නමුත් විවාහ ජීවිතයට ආවාම සැලසුම්, අරමුණු ඒ වගේ දේ එක්ක ආදරයට එහා ගිය බැඳීමක් ඇති වෙනවා. ආදරය අඩු ද වැඩි ද කියන දේට වඩා ඉන්පසු ඇතිවන්නෙ ශක්තිමත් බැඳීමක්.
ඔබ ජීවිතේ ගෙවන්න වඩා කැමති කොහොමද?
තමුන් කියන පුද්ගලයා කැමති දේ කරමින් සැහැල්ලූවෙන් සතුටින් ජීවත්වීමට කැමතියි. ඒක එක එක පුද්ගලයාට වෙනස් වන දෙයක්. මම ඉතින් බොහොම සරල සාමාන්‍ය චරිතයක්. පුතා කවදාහරි හොඳින් අධ්‍යාපනය කරලා හොඳ මිනිහෙක් ලෙස සමාජගත වූ දාට අම්මා කෙනෙක් ලෙස මම ඉහළම සතුට ලබාවි.
සදුන් ගමගේ