කදිරේසන් කෝවිල, වෛතීස්වරන් කෝවිල, වෛතීස්වර විද්‍යාලය, ආරුමුග නාවලර් විදුහල, සිවතොන්ඩන් මධ්‍යස්ථානය, යාපනය හින්දු විද්‍යාලය සහ සිවප්‍රකාශ මුද්‍රණාලය යන සියල්ල පිහිටියේ මේ අවට ය. මෙය, වසර සිය ගණනක් තිස්සේ යෝගීන්ගේ, ඍෂිවරුන්ගේ පූජනීය පා පහස ලද බිමකි. එබැවින් සිරිලක ඇති ආධ්‍යාත්මික පරිසරයක් සහිත පුණ්‍ය භූමියක් ලෙස හැඳින්විය හැකිය.
මෙම පින්බිමේ වාසය කළ මහා ඍෂිවරු අතර මුලින්ම සඳහන් වනුයේ ‘කඩේ ස්වාමිතුමා’ (කඩෛ සුවාමි)ය. යාපනයේ කතෝලික ආගම ආධිපත්‍යය දැරූ එසමයෙහි හින්දු ආගම පුනර්ජීවනයට පත් කළ තැනැත්තකු ලෙස එතුමාගේ නම ප්‍රකටය. එතුමා උපන් ස්ථානය, මව්පියන්, මුතුන් මිත්තන් ගැන හෝ එතුමාට මව්පියන් විසින් තබන ලද නම ගැන හෝ තොරතුරු දැන ගන්නට නොලැබේ. ආධ්‍යාත්මික ජීවිතයට අවතීර්ණ වූ යෝගීවරු සාමාන්‍යයෙන් තම භෞතික පැවැත්මට සම්බන්ධ අතීතය හෙළි නොකරති. එතුමන්ලාගේ අදහසට අනුව තමන්ගේ අතීතය මිය ගොස් ඇත. කෙසේ වෙතත්, ‘කඩේ ස්වාමි’ යාපනයට පැමිණීමට පෙර ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ ගමක ජීවත්ව සිට ඇති බවට ඔහුගේ සමීප බැතිමතුන්ගේ ආරංචිවලින් දැන ගන්නට ලැබේ. මුල් කාලයේ දී එතුමන් ස්වාමි මුක්තියානන්ද යන නමින් හඳුන්වන්නට යෙදී ඇත. එතුමාට ඉංග්‍රීසි, සංස්කෘත, කන්නඩ සහ දෙමළ භාෂා පිළිබඳ මනා දැනුමක් තිබිණි. මහාධිකරණ විනිසුරු ධුරයක් උසුලමින් සිටිය දී වරදකරුවකුට මරණ දණ්ඩනය දීම ප්‍රතික්ෂේප කොට, ලෞකික ජීවිතය ගැන කලකිරී වෘත්තිය අතහැර දමා මුළුමනින්ම ආධ්‍යාත්මික ජීවිතය වැලඳගෙන ඇත්තේය. රත්‍රන් යකඩ බවට පත් කිරීම, උණු ඉටි පානය කිරීම, තැනක සිට අතුරුදහන් වී වෙනත් තැනක පෙනීසිටීම වැනි ආශ්චර්යන් පෑමට එතුමා සමත්ව සිටි බව පැවසේ.
කෙසේ වෙතත්, කර්නාටක ප්‍රාන්තයේ මයිසූර් ප්‍රදේශයේ උපන් මේ මහා පුරුෂයාට මඟ පෙන්වූ ගුරුතරුව කවුරුන්දැයි සොයා ගැනීම අපහසු නැත. 17 වැනි සහ 18 වැනි සියවස් දකුණු ඉන්දීය ඉතිහාසයේ අඳුරු කාල පරිච්ඡේදයන් විය. දකුණු ඉන්දියාව ආර්ථික හා දේශපාලනික වශයෙන් ඉතා පහත්, දුර්වල තත්ත්වයක පැවතිණි. එම ඝනාන්ධකාරය දුරලීම සඳහා දේව කරුණාවෙන් ප්‍රභාමත් ඍෂිවරයකු මෙලොව පහළ වුණි. එතුමා සංකරාචාර්ය පීඨයෙහි අධිපති පූජක ධුරය ඉසිලූ, ඉහළ ආධ්‍යාත්මික තලයකට පත්ව සිටි ශ්‍රී නරසිංහ භාරතී ඍෂිවරයාය.
තම ගුරුතුමා වෙතින් මිදුණු ‘කඩේ ස්වාමි’ ශ්‍රී ලංකාවට සැපත් වුණේ 1862 වර්ෂයේ බව අනුමාන කෙරේ. මෙම ආගමනය නිසා දකුණු ඉන්දියාවේ මෙන් ම සිරිලක උතුරුකරයේ ද ආධ්‍යාත්මික පුබුදුවක් ඇති විය. කඩේ ස්වාමි යාපන අර්ධද්වීපයේ සතර දිග්භාගයේ විසිරී සිටි මිනිසුන්ට යහමඟ පෙන්වීය. ජීවිතයේ පරමාර්ථය බැතිමතුන් ආධ්‍යාත්මිකව පෝෂණය කිරීමයි යන මූලධර්මය එතුමා දැඩිව පිළිපැද්දේය.
ශ්‍රී ලංකාවට පැමිණි කඩේ ස්වාමිතුමාගේ පළමු වැනි ගෝලයා වූයේ වන්නාර්පන්නෙයිහි විසූ වෛරමුත්තු චෙට්ටියාර් නමැත්තාය. කඩ සහිත මහා වීදියේ නිතර ගැවසුණු නිසා කඩේ ස්වාමිතුමා යන නම පටබැඳුණි. නල්ලූර් කන්දස්වාමි කෝවිල අවට ප්‍රදේශයේ දී එතුමා නිතර දැක ගන්නට ලැබී ලැබුණි. කඩේ ස්වාමිතුමාගේ කිසිදු ඡායාරූපයක් දක්නට නොලැබේ. දැනට පවතින එකම පින්තූරය එතුමාට බැතිමත් වූ කලාකරුවකු විසින් අඳින ලද්දකි. එම සිතුවම ඇසුරින් එතුමා පළල් උරහිස්, දිගු අත් සහ මුහුණේ නිරතුරුවම දිදුලන සිනහවක් ඇති අයකු ලෙස නිරූපණය කෙරේ. අග මදක් වක් වූ දිගු නාසය මුහුණට අලංකාරයක් ගෙන දෙයි. එතුමා කඩිසරව, ගාම්භීර ලෙස අඩි තබා ඇවිද ගියේය. මුඛරි වදන් මුසු කතා විලාසයෙන් අසන්නන් සිනා ගැන්වීමට සමත් වූයේය. එම ලක්ෂණය එතුමාගේ පෞරුෂයට චමත්කාරජනක බවක් ගෙන දුන් බව දුටුවෝ පවසති.
ඩී.එම්.එස්. ආරියරත්න