සුද්දෝ දුන්න තේ, කෝපි, රබර් සුද්දන්ටම විකුණ විකුණ අපි මෙච්චර කල් සුද්දොන්ට චරිත සහතික ලිවුවේ එහෙමයි. හැබැයි ඔතනට තව එකක් අඩුයි. අද වෙද්දී අඩුවෙන්ම AIDS හැදෙන්නේත් සුද්දොන්ට... එකත් අතනට ADD කරගන්න. මොකද අද තමයි එකට හොඳම දවස. ලෝක AIDS දිනය අදයි. ගෙවල් සරසලා නෑයෝ ඇවිත් Party දාන දිනයක් නොවුනාට අපි මොහොතක් නැවතිලා අනිවාර්යෙන්ම ටිකක් කල්පනා කරලා බලන්න ඕන දවසක්.
කියලා කට ගන්න හම්බුනේ නෑ, මේ වෙද්දීත් ඔබ කල්පනා කරනවා මෙච්චර සෙල්ලම් දාන සුද්දොන්ට කොහොමද AIDS වැළඳීම අඩුවෙලා තියෙන්නේ කියලා.
වැඩිය හිතන්න එපා. සංස්කෘතියක් නැති වුනාට සුද්දෝ උපත් පාලන කොපු භාවිතා කරනවා. තේරෙන සිංහලෙන් කියනවනම් Condom පාවිච්චි කරනවා. හැබැයි අපි නම් ඒ වචනෙටත් හරි ලැජ්ජයි, මාර බයයි. Condom කියන වචනේ වෙන කෙනෙක් කියනවා ඇහුනම හැරිලා බලන්නේ මිනී මරුවෙක්, කුඩුකාරයෙක් දිහා බලනවා වගේ. හැබැයි මතක තියා ගන්න මේ වෙද්දී ලෝකෙම භය වෙලා ඉන්න HIV/AIDS රෝගයේ ඊළඟ ගොදුර බවට පත් නොවී ඉන්න ඔබට තියෙන හොදම අවිය තමයි Condom කියන්නේ. ඒ බව දැන් ඔබට තේරෙයි AIDS රෝගයේ මුල මැද අග දැනගත්තාම.
AIDS - Acquired Immune Deficiency Syndrome (ආගන්තුක ප්‍රතිශක්ති ඌනතා සහලක්ෂණය). AIDS එක්කම ඔබට ඇහිලා ඇති HIV කියන නමත්. HIV - Human Immunodeficiency Virus Infection ( මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය ).
ඇත්තටම මේ AIDS කියන්නේ මිනිස්සුන්ගේ ලෙඩක් නෙවෙයි සත්තුන්ගේ ලෙඩක්. අප්‍රිකානු කොළ වඳුරන්ට සහ චිම්පන්සියන්ටයි මුලින්ම HIV වැළදිලා තියෙන්නේ. 20 වන සියවසේ මුල් භාගයේදී HIV මිනිසුන්ට ආසාදනය වුනා. ඒ II වන ලෝක යුධයෙන් පසුව පැතිර ගිය මැලේරියා රෝගයත් සමගයි. ඒ කාලයේ අප්‍රිකාව තුල සීග්‍රයෙන් පැතිර යන මැලේරියාවට මිනිසුන් මෙන්ම සතුන්ද ලක්ෂ ගණනින් ගොදුරු වුනා. ඒ සියල්ලන්ටම ප්‍රතිකාර කරේ එකම වෛද්‍ය කඳවුරු සහ රෝහල් තුලයි.
මනුෂ්‍ය වර්ගයාගේ අවාසනාවට, ඒ සියල්ලන්ටම ප්‍රමාණවත් තරම් එන්නත් කටු සහ වෙනත් වෛද්‍ය උපකරණ කඳවුරු සහ රෝහල් වල තිබුනේ නෑ. ඒ නිසා සතුන්ට මෙන්ම මිනිසුන්ටද ප්‍රතිකාර කරන්න සිදුවුනේ එකම උපකරණ භාවිතා කරමින්. ජීවානුහරණය නොකරම එම එන්නත් කටු භාවිතාකල නිසා සතුන් ළඟ තිබුණු මේ ලොවම වනසන වෛරසය මිනිසුන්ට ආසාදනය වුනා.
පළමුවරට HIV ආසදිතයෙක් හඳුනා ගත්තේ අප්‍රිකාවේ කොන්ගෝවෙන්, ඒ 1959 දියි. ඉන් අනතුරුව 1969 දී HIV ආසාදිත අප්‍රිකානුවෙක් ඇමෙරිකාවට පැමිණීමත් සමග AIDS ලොව පුරා ව්‍යාප්ත වීම ඇරඹුනා. මුල් කාලයේ දී බටහිර රටවල පැවතී සමලිංගික සම්බන්දතා නිසා AIDS ව්‍යාප්තිය ඉක්මන් වුනා.
2015 වසර ඇරඹෙද්දී ලොව පුරා සිටි හඳුනා ගත් HIV ආසාදිතයින් ගණන මිලියන 36.9 ක්. හැබැයි අවාසනාවට HIV ආසදිතයන්ගෙන් 54%ක් තාම දන්නේ නැහැ තමන්ට AIDS වැළදිලා කියලා. වසරකට AIDS රෝගී සමාජයට අලුතින් පුද්ගලයින් මිලියන 2ක් පමණ බිලිවෙනවා. එමෙන්ම වසරකට මිලියන 1.2ක් AIDS නිසා මිය යනවා.
HIV ශරීර ගතවීමෙන් මුලිකවම සිදුවෙන්නේ මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණය අඩපණ කිරීමයි. එමෙන්ම AIDS වැලදුනත් ඒ බව බාහිරින් දැනගන්නට හැකියාවක් නෑ. සායනික පරීක්ෂාවකින් හෝ රුධිර පරීක්ෂාවකින් අනතුරුවයි HIV අසාදනය වී ඇත්දැයි සැක හැර දැනගන්න පුළුවන් වෙන්නේ. කොහොම වුනත් AIDS රෝගයට ගොදුරුවූවන් මියයන්නේ AIDS රෝගයෙන් නොවෙන්න පුළුවන්. හෙම්බිරිස්සාව, පුංචි සීරීමක් නිසා ඇතිවුණු තුවාලයක් නිසාත් වෙනත් ඕනෑම සාමාන්‍යයෙන් සුවවෙන රෝගයක් හැදුනත් AIDS රෝගියෙක් මියයන්න පුළුවන්. ඒ හෙම්බිරිස්සවකට වත් මුහුණ දෙන්න බැරි විදිහට HIV මිනිස් සිරුරේ ප්‍රතිශක්තිය විනාශ කරන නිසයි.
AIDS රෝගය බෝවෙන්නේ HIV ආසාදිත මවකගෙන් උපදින දරුවාට, රුධිර පාරවිලයනයකදී නැත්නම් ලිංගික සම්බන්දකම් වලින් පමණයි. මෙන්න මේ සියලු කරණා නිසයි AIDS අනිත් ලෙඩ වලට වඩා වෙනස් සහ දරුණු එකක් වෙන්නේ.
මේ වෙද්දී ලොව වැඩිම AIDS රෝගීන් ඉන්නේ දකුණු අප්‍රිකානු කලාපයේ. එහි සිටින බොහෝ දෙනෙක්ට HIV අසාදනය වී ඇත්තේ තම මවගෙන්. අප්‍රිකාවට පසුව වැඩිම HIV ආසාදිතයන් ගණනක් සිටින්නේ ආසියානු කලපයේයි. එයිනුත් වැඩි ප්‍රතිශතයක් ඉන්නේ ඉන්දියාවේයි. ආසියානු කලාපයේ බොහෝදෙනෙක්ට HIV ආසාදනය වී ඇත්තේ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා නිසයි.
මුල් කාලයේදී යුරෝපා රටවල වේගයෙන් AIDS ව්‍යාප්ත වුනත් වර්තමානයේ තත්වය සම්පුර්ණයෙන්ම කණපිට පෙරලි තිබෙනවා. තාක්ෂනය දියුණු නිසා බටහිර රටවල රුධිර පාරවිලයන වලදී AIDS රෝගය වලදීමේ සම්භාවිතාව ඉතා අඩුයි. එමෙන්ම ඔවුන්ගේ ලිංගික අධ්‍යාපන මට්ටම ඉතා ඉහල වීම සහ ලිංගික සම්බන්ධතා වලදී Condom මගින් තම ආරක්ෂාව සලසා ගන්නට පෙළඹී නිසයි මෙලෙස දියුණු බටහිර රටවල HIV ආසාදනය සැලකිය යුතු ලෙස පහල ගොස් ඇත්තේ.
පිටරට විස්තරය එහෙම වෙද්දී ලංකාවේ තත්වය නම් දැන් එන්න එන්නම දරුණු වෙලා. සතියකට AIDS රෝගීන් 4 දෙනෙකු මෙරටින් වාර්තාවන සමයකයි මේ AIDS දිනය ගත වෙන්නේ. මේ වෙද්දී ඔබ AIDS රෝගියෙකු නොවෙයි. හැබැයි හෙට ඔබටත් නොදන්වාම බෙහෙත් නැති මේ ලෙඩේ HIV , ඔබේ ශරීරයට ඇතුල් වෙන්න තියෙන සම්භාවිතාව 100% යි කියන එක විතරක් අමතක කරන්න එපා.
ඒ නිසා ඔබත් රුධිර පාරවිලයන වලදී ආරක්‍ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කිරීම, ලිංගික කටයුතු විශ්වාසවන්ත සම්බන්ධතා වලට පමණක් සිමා කිරීම වගේම ලිංගික සම්බන්ධතා වලදී Condom භාවිතය මගින් ඔබේ අනාගතය සුරක්ෂිත කරගන්න.