ඊයේට (27) යෙදී තිබූ මහවිරු දිනය වෙනුවෙන් ත්‍රස්තවාදී කණ්ඩායම් සිහිපත් කරමින් උත්සව පවත්වන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය පවසනවා.
කෙසේ වෙතත්, උතුරු පළාතේ මහවිරු සැමරුම් සිදුකිරීමට කිසිවෙකුගෙන් බාධාවක් නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ උතුර පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් පවසා තිබුණා. ඔහු කියා සිටියේ සාමකාමී අයුරින් තම විරුවන් සැමරීමට උතුරු පළාතේ කටයුතු සූදානම් කර ඇති බවයි.
යාපනය සරසවියේ සහ වව්නියාව නගරයේ ස්ථාන කිහිපයක මහවිරු දිනය සැමරීම සදහා එක්වන ලෙස දැනුම් දෙමින් පසුගිය දින කිහිපය තුළ පෝස්ටර් අලවා තිබූ බවටද තොරතුරු වාර්තා වුණා.
කෙසේ වෙතත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ ත්‍රස්තවාදී කණ්ඩායම් සිහිකර කිසියම් හෝ උත්සවයක් පැවැත්වීමට කටයුතු කරන්නේ නම් ඊට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
මේ අතර, උතුරු පළාත් සභාවට අයත් පාසල්වලට ඊයේ (27) දිනයේ නිවාඩු ලබාදීමට උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා තීරණය කර තිබෙනවා. ඒ, එල්.ටී.ටී.ඊ සබඳතා සහිත සිරකරුවන් කඩිනමින් නිදහස් කරන ලෙස ඉල්ලා යාපනයේ පාසල් සිසුවෙකු සියදිවි හානි කර ගැනීමේ සිද්ධියට ශෝකය පළ කරමින්.
කෙසේ වෙතත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ උතුරු පළාත තුළ පාසල්වල නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් රේඛීය අධ්‍යාපන අමාත්‍යාංශය දැනුවත් කර නොමැති බවයි. නමුත් එම නිවාඩු දීම අවලංගු කිරීමට රේඛීය අමාත්‍යාංශයට බලතල නොමැති බව පෙන්වා දුන් එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා මේ සම්බන්ධයෙන් අදාළ පළාත් අමාත්‍යාංශයෙන් කරුණු විමසීමක් සිදුකරන බවද සඳහන් කළා.
එමෙන්ම ජාතික ආරක්ෂාව අවතක්සේරු කරමින් ප්‍රචාරය වන ප්‍රකාශයන්ට නොරැවටෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. පවතින සාමාකාමී වාතාවරණය බිඳ වැටෙන ඕනෑම අවස්ථාවකදී පොලීසියේ ඉල්ලීම මත රටේ නීතිය හා සාමය පවත්වා ගැනීමට අවශ්‍ය සහයෝගය ලබාදීම සඳහා ත්‍රිවිධ හමුදාව සූදානමින් සිටින බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ. නොමඟ යෑමෙන් වළකින ලෙස එම අමාත්‍යාංශය ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියා.