දැදුරු ඔයේ ගිලී තරුණියන් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ,බිංගිරිය, තිසෝගම ප්‍රදේශයේ පදිංචිව සිටි එච්. ඒ. චමෝදි ප්‍රසාදිනී හා එස්. එම්. මාධවී ප්‍රසාදි නමැති පාසල් සිසුවියන් දෙදෙනායි.
විදේශ රැකියාවකට යන ගමේ අසල්වැසි හිතවතෙකුට සුබපැතීම සඳහා ප්‍රිය සාදයක් පැවැත්වීමට දැදුරුඔය අසබඩ තම දරු පවුල් ද සමග පැමිණ ඇති දෙමාපියන් වැඩිහිටියන් එහිදී විනෝදවන අතරේ තම දරුවන් ගැනද නිසි අවධානයෙන් නොසිටීම නිසා මේ අනතුර සිදුව ඇති බව හදිසි මරණ පරීක්ෂක ලෝරන්ස් හෙට්ටිආරච්චි මහතා විසින් කුලියාපිටිය රෝහලේදී පවත්වන ලද සාක්ෂි විභාගයේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළා.
එහිදී සාක්ෂි දෙමින් එන්. ආර්. පසිඳු ෂෙහාන් කාවින්ද්‍ය (18) නමැති තරුණයෙක් මෙසේ සඳහන් කළා.
මියගොස් සිටින චමෝදි නංගීගේ තාත්තා වන ප්‍රියන්ත මාමා විදේශ රැකියාවකට යාමටයි සිටියේ. ප්‍රියන්ත මාමාගේ අදහසක් පරිදි ඔහු සමග දැදුරු ඔය ඉවුරේ ප්‍රියසාදයක් පැවැත්වීමට අපේ දෙමාපියන්ද සමග 3 දා දහවල් වෑන් එකකින් දැදුරු ඔයට ආවා.
අපේ තාත්තාලා ප්‍රියන්ත මාමාද සමග ඔයේ ඉවුර උඩ හරියේ බියර් බොමින් විනෝද වෙමින් සිටියා. අපේ අම්මලා දැදුරු ඔය අයිනේ රොටි පුච්චමින් සිටියා.
අපි පස් හයදෙනා ඒ කිසිවකට සහභාගි නොවී දියනෑම සඳහා දැදුරු ඔය අයිනේ මීටර් 100 ත් 200 ක් පමණ ඉදිරියට ගියා. එක් තැනක පිරිමි කට්ටියක් දිය නාමින් සිටි නිසා අපි ඊට මෙහායින් ඔයට බැස දිය නාමින් සිටියා.
මේ අවස්ථාවේ මා දැක්කා විහංගි නංගී දියේ ගිලෙන්නට යනවා වගේ මා ඉක්මනින් ඇයව ගොඩට ගෙනාවා. දිය නාමින් සිටි තව මල්ලී කෙනෙක් දියේ ගිලෙන්නට වගේ යනවා දැක මා ඔහුව ද අල්ලාගෙන ගොඩට ගෙනාවා. දිය නාමින් සිටි මාධවී හා චමෝදි නංගිලා පෙනෙන්නට නොසිටි නිසා ඔවුන් දියේ ගිලෙන්නට ඇතැයි සිතා මා හයියෙන් කෑගැසුවා.
එවිට අපේ තාත්තලා ඇතුළු කට්ටිය අප දිය නාමින් සිටි තැනට දුවගෙන ආවා. ඔවුන් කීපදෙනෙක් ඔයට බැහැලා පීනමින් ඒ නංගිලා දෙන්නා ගැන හෙව්වා.
ප්‍රියන්ත මාමාගේ දුව වන චමෝදි නංගී දියෙහි ගිලී සිටියදී වසන්ත මාමා ඇගේ සිරුර ගොඩට ගෙනාවා. පසුව වසන්ත මාමා යළිත් දිය යටට ගොස් ඔහුගේ දුව වන මාධවී නංගීගේ සිරුර ගොඩට ගෙනාවා.
ඒ නංගිලා දෙන්නා කිසිම කතාබහක් කළේ නෑ. කට්ටිය එක්ව ඔවුනට ප්‍රථමාධාර දුන්නා. පසුව වෑන් රියෙන් බිංගිරිය රෝහලට රැගෙන ගියා. එහිදී වෛද්‍යවරුන් නංගිලා දෙන්නා පරීක්ෂා කර බලා කීවා ඔවුන් මියගොස් කියා.