මේ දිනවල බොහෝ දෙනෙකුගේ අවධනය යොමු වෙලා තියෙන්නේ ඩුබායි හි පැවැත්වෙන අයි. පී. එල් තරඟාවලියටයි. දිනන්නේ කවුද පරදින්නේ කවුද කියලා තරඟ දෙස නොවිසිල්ලෙන් බලාගෙන ඉන්න ශ්‍රී ලංකික ක්‍රීඩා ලෝලීන්ට සුබ පණිවිඩයක් දුන්නේ ඉසුරු උදාන විතරයි.මෙවර අයි පී එල් නියෝජනය කරන්න වරම් ලැබූ එකම ක්‍රීඩකයා වුනෙත් ඔහු. ඒ නිසාම මේ දිනවල ඩුබායි ඉන්න ඉසුරු එක්ක කතා කරන්න අපි හිතුවා. ඔහු ඒ අත්දැකීම ගැන කිව්වේ මෙහෙමයි.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අයි. පී. එල් නියෝජනය කරන්න ලැබුණේ ඉසුරු ඔබට විතරයි. ලැබුණු අවස්ථාව ගැන කියන්න ඔබට බොහෝ දේ ඇති..?
මගේ නම මුලින්ම අයි පි එල් සඳහා නිර්දේශ වෙන්නේ 2009 වර්ෂයේ. නමුත් ක්‍රීඩා කරන්න මට අවස්ථාව ලැබුනේ නැහැ. මේ වතාවේ නම් සතුටුයි කියන්න මගේ දක්ෂතා දක්වන්න අවස්ථාව ලැබුනා. පසුගියදා තිබුණු තරඟයකටත් ක්‍රීඩා කළා. හරි සතුටුයි. ඒ වගේ අවස්ථා හැමෝටම ලැබෙන්නේ නැහැ. මේ පාර මට අවස්ථාවක් ලැබුණු එක ගැන පුදුමාකාර සතුටක් තියෙන්නේ.
ලීග් තරඟ ඕන තරම් ඔබ ක්‍රීඩා කර තිබෙනවා. නමුත් ලෝකයේ හොඳම ක්‍රීඩකයින් එකතු වෙන්නේ අයි පී එල් තරඟ සඳහා. අභියෝගයක් හා පීඩනයක් නැහැ කිව්වොත් බොරුවක් නේද..?
මම ලීග් තරඟ කිහිපයකම ක්‍රීඩා කරලා තියෙනවා. දක්ෂතා දක්වලත් තියෙනවා. නමුත් හොඳම ලීග් එක තමයි අයි පි එල් කියන්නේ. ක්‍රීඩකයෙකුට ඒ තුලින් ඉගෙන ගන්නත් දේවල් බොහොමයි. මම නියෝජනය කරන්නේ විරාත් කෝලි ප්‍රමුඛ royal challengers bangalore කණ්ඩායමේ. මේ කණ්ඩායමේ ඉන්නේ අතිෂය දක්ෂ ක්‍රීඩකයින් කිහිප දෙනෙක්. ඔහුන් ගැන අමුතුවෙන් හදුන්වා දෙන්නවත් ඔවුන්ගේ දක්ෂතා අමුතුවෙන් කියන්නවත් අවශ්‍ය නැහැ. ක්‍රීඩා ලෝලීන් පවා ඔවුන්ගේ දක්ෂවලට ආදරේ කරනවා. ඒ වගේ කණ්ඩායමක් එක්ක සෙල්ලම් කරන්න ලැබීමම වාසනාවක්. අභියෝගයක් වගේම පීඩනයක් දැනුනා මුල් දවස්වල. නමුත් කණ්ඩායමේ තියෙන සහයෝගය නිසා ඒ බය මඟ හැරුණා.
තමන්ගේ කණ්ඩායම එක්ක ජාත්‍යන්තර තරඟයකට සම්බන්ධ වෙනවට වඩා අයි පි එල් කියන්නේ වෙනස්ම අත්දැකීමක්, එහෙම නේද..?
මේ වගේ ලීග් එකක් එක්ක සෙල්ලම් කරනකොට තේරෙනවා වෙනස. දන්න හදුනන ක්‍රීඩකයින් හිටියත් ඔවුන්ගේ සැගවුණු වෙනස්කම්, දක්ෂතා අපිට දැකගන්න ලැබෙන්නේ ඉගෙන ගන්න ලැබෙන්නේ මේ තරගාවලියේදී විතරයි. ඔවුන්ගේ තාක්ෂණික දැනුම පවා හුවමාරු වෙනවා. ඒ අත්දැකීම, දැනුම ඇති මට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් එක්ක බෙදා ගන්න. ඒක එක්තරා විදිහකට ක්‍රිකට් ක්‍රීඩාවේ හා ක්‍රීඩකයින්ගේ නොදන්නා කරුණු බොහොමයක් දැනගත්තා වගෙයි. ඒ නිසයි මම කියන්නේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට අයි පි එල් කියන්නේ පාසලක් වගේ තැනක් කියලා. කණ්ඩායම් විදිහට වෙන වෙනම ක්‍රීඩා කරද්දී අනෙක් රටවල ක්‍රීඩකයින්ගේ වෙනස හොයා ගන්න අමාරුයි. මෙතැනදී රටවල් කිහිපයක ක්‍රීඩකයින් ඉන්නවා. එයාලා ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගන්නවා මේ කණ්ඩායම තුලදී. එතකොට ජාතික කණ්ඩායම එක්ක ජාත්‍යන්තර තරඟයක් නියෝජනය කරද්දී පන්දු යවන්නේ පන්දුවට පහර දෙන්නේ කොහොමද ඒ ඒ ක්‍රීඩකයා කියන එක අපිට අවබෝධ වෙනවා. ජයග්‍රහණය කරන්න ඒක ඉවහල් වෙනවා.
ඔබ ඔය විදිහට පැවසුවත් බොහෝ දෙනෙක් හිතන්නේ අයි. පී. එල් කියූ සැණින් මුදල් උපයන්න හොඳ මාර්ගයක් කියලයි..?
මගේ රස්සාව ක්‍රිකට්. ඒ නිසා මම ක්‍රීඩා කලොත් තමයි මට මුදල් ලැබෙන්නේ. නමුත් ජිවිතේට නොලැබෙන අත්දැකීම් ඒ තරඟ ඔස්සේ ලබා ගන්න පුළුවන් එක ගැන තමයි මම මුලින්ම හිතන්නේ. ඒ වගේම කියන්න ඕන විකට් ගත්තත්, තරඟ දිණුවත්, ලකුණු ගත්තත් දොස් කියන 1% ක් ඉන්නවා. එයාලා දකින්නෙම වැරදි විතරයි. ඒ නිසා මම එයාලා කරන චෝදනා ගණන් ගන්නේ නැහැ. ඒවා මට ඇහෙන්නේ නැහැ, ඒවාට මම හිත රිද්දාගෙන අධර්යමත් වෙන්නේ නැහැ. ඒ වගේම ක්‍රීඩාව නිසා ක්‍රීඩකයින් කොතරම් දේවල් කැප කරනවද කියලා ඇතැම් අයට තේරෙන්නේ නැහැ.
මෙවර අයි පී එල් තරඟ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන එකම ක්‍රීඩකයා ඔබ වීම ගැන ඔබේ ආදරණිය බිරිඳ මොකද කියන්නේ..?
මගේ බිරිඳ ප්‍රින් පෙරේරා. පුතා තිවින් තිලකරත්න. පුතාගේ වයස තවම අවුරුදු එකහමාරයි. බිරිඳ නම් මේ ලැබුණු අවස්ථාව ගැන ගොඩක් සතුටු වුනා. ඒ වගේම රටින් පිට ඉන්න එක ගැන දුකක් එයාට තියෙනවා. මාස තුනකට ආසන්න කාලයක් මට ඩුබායි ඉන්න වෙනවා. පුතාවත් බිරිඳවත් මට මඟ හැරෙනවා. ඒ වගේ කාලයක් දෙතැනක ඉන්න එයාට වගේම මටත් අමාරුයි. ඒ නිසා එයාට සතුටක් වගේම දුකක් තියෙනවා.
කොරෝනා නිසා පවුලේ අයට තරඟ සජීවීව නරඹන්න අවස්ථාවක් නැහැ නේද..?
ඔව්. මිට කලින් තිබ්බ හැම තරඟයකටම බිරිඳ මාත් එක්ක ආවා. කොරෝනා නිසා ඩුබායි ඇවිත් දවස් 6ක් මම නිරෝධායනය වුනා. ඒ නිසා මේ තරග නරඹන්න එයාලා එක්කගෙන ආවේ නැහැ. කොරෝනා නිසා ඒ අවස්ථාවත් මඟ හැරුනා.
නමුත් පසුගිය කාලයේ නිදහසේ කාලය ගත කරන්න ඇති කොරෝනා නිසා ලැබුණු නිවාඩුවත් එක්ක..?
මාස හතරකට ආසන්න කාලයක් මට පවුල එක්ක ඉන්න පුළුවන් වුනා. හැම ක්‍රීඩකයෙකුටම ක්‍රීඩාව නිසා පවුල මඟ හැරෙනවා. පුතා ඉපදිලා පහුවදාම මට සවුත් අප්‍රිකාව එක්ක තරඟයකට සම්බන්ධ වෙන්න සිද්ධ වුනා. ලංකාවට ආවේ පුතාට මාස 3ක් වෙද්දී. ඒ වගේ අසිරූතාවලට මුහුණ දෙන්න වෙනවා. පසුගිය මාස 4ක කාලයක් අපිට හොඳ විවේකයක් තිබ්බ කාලයක්. මම පවුලේ අයත් එක්කමයි හිටියේ.
බොහෝ ක්‍රීඩකයින් පසුගියදා ක්‍රිකට් වලට සමු දුන්නා, ක්‍රිකට්වලින් විශ්‍රාම යන්න තවම අදහසක් නැද්ද..?
ශරීරයේ හයිය තියෙනකල් මම ක්‍රීඩා කරනවා. දැන්මම විශ්‍රාම යන්න කොහෙත්ම අදහසක් නැහැ. ලැබෙන දේවල් අනුව තමයි ඒ තීරණය වෙනස් වෙන්නේ.
ඔබ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ඇතුලත් වෙලා වසර 11ක් පමණ වෙනවා, ගෙවී ගිය කාලයේ ඔබට ලැබුණු දේවල් ගැන ඔබ සතුටින්ද..?
ජිවිතේ එකම තැන තියෙන්නේ නැහැ, උස් පහත්වීම් වෙනවා. සියල්ල දරාගෙන මගේ ශක්තියෙන් මම මේ ගමන යනවා. ලැබුණු දේ බොහෝයි. ඒ දේවල් ගැන සතුටු වෙනවා. ඒ නිසා මගේ ආදරණිය අම්මා තාත්තා වගේම මගේ බිරිඳට ස්තුති කරන්න ඕන. මගේ පළමු පුහුණුකරු සුසන්ත කුලරත්න සර් එතුමා නිසා තමයි ක්‍රිකට් ක්‍රීඩාව තුල ඉසුරු උදාන කෙනෙක් බිහි වුනේ. ඒ වගේම මම කොළඹ ආවට පස්සේ මාව බලාගත්තේ සම්පත් පෙරේරා සර්. එතුමාටත් විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. නම් නොකිව්වත් බොහෝ දෙනෙත් මගේ ජිවිතේ ගොඩ දාන්න උදව් කළා. හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා.