රාජ්‍ය අමාත්‍ය ධූරයකින් පිදුම් ලැබූ ෂෙහාන් සේමසිංහ දේශපාලන ජීවිතයත් එක්ක කාර්ය බහුල වෙද්දී කුටුම්භය එදා ඉදලම අද වෙනකල් ශක්තිමත්ව පවත්වාගෙන යන්නේ ඔහුගේ ආදරණිය බිරිඳ පිංකි තිලංගා සේමසිංහ. ආදරණිය දියණියක හා පුතෙකුගේ වගකීම් එක්ක දේශපාලඥයෙක්ගේ බිරිදක් කොයි වගේද කියලා දැනගන්නත් ඔවුන්ගේ අලුත් තොරතුරු විමසන්නත් පිංකිව අපිත් එක්ක එකතු කරගත්තා. මේ ඇය සමඟ කළ සංවාද සටහනයි.
සැමියා දැන් රාජ්‍ය අමාත්‍යවරයෙක්. මේ තනතුරත් එක්ක ඔහු දේශපාලන ජිවිතෙයේ කාර්යබහුල ඇති..ඔහුගේ කාර්යබහුලකම එක්ක බිරිඳ හැටියට ඔබේ ජිවන රටාව ගෙවෙන්නේ කොහොමද..?
තවමත් ඔහු වගේම මමත් කාර්යබහුලයි. මවක් බිරිඳක් හැටියට මම කාර්යබහුල. අපි කොරෝනා කාලේ හිටියේ අනුරාධපුර ගෙදර. මාස පහමාරකට පස්සේ කොළඹට ආවේ. ඒ නිසා තවම කාර්යබහුලකමෙන් මිදෙන්න බැරි වුණා. ඇතැම් අවස්ථාවලදී සැමියාගේ වැඩකටයුතුවලටත් උදව් කරන්න සිද්ධ වෙනවා. කොරෝනා තත්ත්වයෙන් පස්සේ පාසල් ආරම්භ වුනා. දුව කොළඹ කාන්තා විදුහලේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙන ගන්නේ. පුතා 4 වැනි ශ්‍රේණියේ රාජකීය විද්‍යාලයේ ඉගෙන ගන්නවා. ඊට අමතරම මගේ වැඩකටයුතු කරගන්නත් ඕන. ඒ නිසා සාමාන්‍ය ජිවිතයක් ගත කරන කෙනෙකුට වඩා ටිකක් වැඩ වැඩියි.
සැමියාට ලැබුණු ඇමති ධුරය ගැන ඔබ සතුටින්ද, ඊට වඩා වෙනස් අමාත්‍ය ධුරයක්ද බලාපොරොත්තු වුණේ..?
ෂෙහාන්ට ලැබුණු දෙවැනි ඇමති ධුරය තමයි මේ. මිට කලිනුත් මුදල් අමාත්‍යංශය යටතේ පාලනය වූ අමාත්‍යංශයක් ලැබුණේ. බලාපොරොත්තු වුනාට වඩා හොඳ අමාත්‍යාංශයක් ලැබුණේ. මම හිතනවා කැපවීමෙන් ඔහු ඒ අමාත්‍යංශයේ වැඩකටයුතු කරමින් ජනතාවට තවදුරටත් සේවය කරයි කියලා.
ඔහු තවමත් වැඩිපුර ඉන්නේ අනුරාධපුර මනාප දුන් ජනතාව එක්ක නේද..?
ඔව්. බලය තිබ්බ කාලෙත් නැති කාලෙත් කියලා වෙනසක් නැහැ. 2010 වර්ෂයේ ඉදලම ෂෙහාන් ඉන්නේ අනුරාධපුර. කිලෝමීටර 220ක් දුර ගෙවාගෙන සතියට දවස් දෙක තුනක් එනවා. ඔහුගේ දේශපාන ජිවිතේ ස්භාවය මම තේරුම් අරගෙන ඉන්නේ. ඔහු ජනතාවට සේවය කරන්න ඕන. දැන් වගකීමක් දරනවා. ඒ නිසා අනුරාධපුර විතරක් නෙමෙයි ලැබුණු අමාත්‍ය ධුරයට අදාළ හැම දෙයක් ගැනම බලන්න වෙනවා.
එවැනි කාර්යබහුල පුද්ගලයෙක් එක්ක විවාහ වුණේ අපරාදේ කියලා කවදාවත් හිතිලා නැද්ද..?
දැන් ඉතින් ඔහුව විවාහ කරගෙන ඉවරයිනේ ඒ නිසා මට ඒ වගේ හැඟීමක් ඇවිත් නැහැ. අපි විවාහ වුණේ 2003 අවුරුද්දේ. අපි පවුලක් විදිහට නිදහසේ කාලය ගත කළේ 2010 අප්‍රේල් මාසේ වෙනකල් තමයි. එයා පාර්ලිමේන්තුවට ගියාට පස්සේ කාර්යබහුල වුනා. එදා ඉදලා අද වෙනකල් මුල් කාලේ තිබුණු නිදහස් ජිවිතේ හොයා ගන්න නැහැ. එයාගේ ගම අනුරාධපුර. එයා වැඩිපුරම ඉන්නේ එහෙ. මම දරුවෝ දෙන්නා එක්ක කොළඹ ඉන්නේ.
විවාහ වෙලා අවුරුදු 18යි..?
ඊයේ දිනට තමයි අපි දෙන්නා විවාහ වෙලා අවුරුදු 18 වුණේ. 2009 වර්ෂය වෙනකල්ම අපි විවාහ සංවත්සරය සැමරුවා. ඊට පස්සේ සංවත්සරය සමරන්නේ දෙපැත්තේ ඉදලා..කෝල් කරලා සුබ පතා ගන්නවා එච්චරයි.
ඔහුගේ රූපයත් එක්ක කොහොමද ගැහැණු ළමයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර..?
මම හිතන්නේ එයා ඉස්සර නම් කැතයි. මහතයිනේ..දැන් තමයි ටිකක් කෙට්ටු වෙලා ඉන්නේ..නාමල් ඇමතිතුමාට පින්සිද්ධ වෙන්න ඕන දැන් ඉන්න තත්වයට. මොකද එයා ව්‍යායාම් එහෙම කළේ නැහැ. නාමල් ඇමතිතුමා තමයි ෂෙහාන් එක්ක එකතු වෙලා ව්‍යායාම්, යෝග වගේ දේවල් කරනවා. ඒ නිසයි ඔය තරමට ඉන්නේ. ප්‍රතිචාරවල අඩුවක් නැහැ.
ඔහු දේශපාලනයේදී වැරදි තීරණ ගන්න කෙනෙක්ද, බිරිඳ විදිහට ඔහු ඒ ගැන දැනුවත් කරනවද..?
ගොඩක් වෙලාවට දේශපාලන ජීවිතයේදී වැරදි තීරණ ගන්නේ නැහැ. එහෙම තීරණ අරගෙනත් නැහැ. මෙච්චර කාලයකට. ඒ නිසා මම හිතනවා මාව අමුතුවෙන් දැනුවත් කරන්න දෙයක් නැහැ කියලා. ඒ වගේම වැරදි දේවල් කරන්න එපා කියලා කියන්න තියන්නේ නැහැ. මොකක් හරි ගැටලුවක හිටියොත් මම කතාබහ කරනවා. එයාට ගොඩක් වෙලාවට ප්‍රශ්න වැටෙන්නේ ජනතාවගෙන්ම තමයි.
පියාගේ කාර්යබහුලකමට දරුවන් ඔහුට දෝෂාරෝපණය කරන්නේ නැද්ද..?
පුතා හරිම දඟයි. දුවට නම් තේරෙන වයසක ඉන්නේ. මොන දේ කරන්න ගියත් ෂෙහාන් දරුවන්ට කරන්න ඕන දේවල් මට කතා කරලා කියනවා එයා අනුරාධපුර ඉන්න නිසා. පුතාට ඒක ගානක් නැහැ. මම හැමදේම කරලා දෙන නිසා. නමුත් දුව නම් තාත්තාට දොස් කියනවා. ඕන දේවල් හැම එකක්ම තාත්තා කරලා දෙන්නේ ෆෝන් එකෙන් කියලා. නමුත් ඔහුගේ කාර්යබහුලකම අපි තේරුම් ගන්න ඕන.
දරුවෝ දේශපානයට කැමතිද..?
දෙන්නම කැමති නැහැ දේශපාලනයට. දේශපාලනය කරන්න දෙන්නටම වුවමනාවකුත් නැහැ. පසුගිය කාලේ මම පුතාව හිතවත් ගෙදරක නතර කරලා ජන්ද කැම්පේන් වලට ගියා. එයාලා කියලා තියෙනවා කවදා හරි අපි ඔයාටත් ජන්දය දෙනවා කියලා. පුතා කිව්වලු මට නම් ඕවා එපා. තාත්තටම දෙන්න කියලා. එයත් කැමති නැහැ.
සැමියාගේ දේශපාලන කටයුතු වලට සම්බන්ධ වෙන ඔබ කවදා හරි කාන්තාව නියෝජනය කරමින් දේශපාලනයට අවතීර්ණ වෙයිද..?