Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
25
"ටෙස්ට් එකේ රිසාල්ට්ස් ඇවිල්ලා කියනවා යන්තම් ඇහුණා..." - COVID 19 යැයි සැකපිට ජාතික රෝහලට ඇතුළත් කළ තරුණයෙකු හෙළි කරන, ඇඟ ලොමු දැහැගැන්වෙන කතාව - Photos

- "ටෙස්ට් එකේ රිසාල්ට්ස් ඇවිල්ලා කියනවා යන්තම් ඇහුණා..." - COVID 19 යැයි සැකපිට ජාතික රෝහලට ඇතුළත් කළ තරුණයෙකු හෙළි කරන, ඇඟ ලොමු දැහැගැන්වෙන කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views

කාටවත් ඔයාව බලන්න වාට්ටුවට එන්න දෙන්නෙ නම් නැහැ...
නෙගටිව් (Negative) වුණොත් ඔයාගෙ ටිකට් කපනවා...
කෑමට මොනව හරි ඕනෑ නම් කියන්න...
 
කොළඹ ජාතික රෝහලේ COVID-19 ආසාදිත බවට සැකසහිත රෝගීන් ප්‍රතිකාර ලබන වාට්ටුවේ සිට ලියමි.
 
මේ ගෙවී යන්නේ ලෝකයම යම් තැතිගැන්මකට ලක්වූ මොහොතකි. අනාගත ලෝක ඉතිහාසයේ යම් පරිච්ඡේදයක COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය හමුවේ අද ලෝකය බැටකන මේ ඛේදජනක ඉරණමට විශාල ඉඩක් වෙන්වන බව නොරහසකි.


වෛරසය පැතිරීම ආරම්භ වූ චීනයේ හුබෙයි පළාත තුළ මේ වනවිට වෛරසය සම්පූර්ණයෙන්ම පාහේ පාලනය කර තිබීම අස්වැසිල්ලක් වුවද, යුරෝපා සහ ඇමෙරිකානු කලාප ඇතුළු සෙසු කලාප තුළ COVID-19 වෛරසය වේගයෙන් පැතිර යමින් මිනිස් ජීවිත බිලි ගනිමින් සිටීම හද කම්පා කරවනසුලුය. මෙය ගෝලීය වසංගත තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් නම් කිරීමට මූලික පදනම වූයේද එයයි.
 
මෙවන් පසුබිමක මා මෙහි අකුරු කරන්නට යන්නේ එම ගෝලීය වසංගත තත්ත්වයට මුහුණදෙන අප පුංචි දිවයිනේදී ලද සජීව අත්දැකීමකි. මෙම ලියුම්කරු COVID-19 ආසාදිත බවට සැකසහිත රෝගියෙකු ලෙස කොළඹ ජාතික රෝහලට ඇතුළත්ව, වෛරසය ආසාදනය වී නොමැති බවට කොරෝනා පරීක්ෂණය මගින් තහවුරු වූ අයෙකි.
 
ඒ අනුව කොළඹ ජාතික රෝහලේදී මා ලැබූ අත්දැකීම මේ වෛරසයේ බරපතළ බව මෙන්ම, ඒ වෙනුවෙන් දිවාරෑ නොබලා සේවය කරන වෛද්‍ය, හෙද ඇතුළු සියලු සෞඛ්‍ය සේවකයන්ගේ කැපකිරීම් හරිහැටි අවබෝධ කරනොගත් ඔබ සැමගේ ඇස් ඇරවීමට සමත්වනු ඇති බව මගේ විශ්වාසයයි.
 
මා COVID-19 ආසාදිත බවට සැකසහිත වූයේ උගුරේ ආසාදනයක් සමග සතියකට වැඩි කාලයක් යම් උණ තත්ත්වයක් පැවති නිසාය.
 
එමෙන්ම ශ්වසන අපහසුවක්ද පසුව ඇති විය. මගේ වෘත්තීය ජීවිතය තුළ පිරිස් බහුලව වශයෙන් ගැවසෙන ස්ථාන වෙත නිරන්තරයෙන් යෑමට සිදුවීමත්, ඇතැම් අවස්ථාවල විදේශිකයන් පවා එවැනි ස්ථානවලට පැමිණ සිටි නිසාත් වගකිව යුතු පුරවැසියෙකු ලෙස මේ රෝගී තත්ත්වය කුමක්දැයි සැකහැර දැනගැනීමටත්, ඒ පිළිබඳ රජයේ වෛද්‍ය උපදෙස් පිළිපැදීමටත් මම උත්සුක වීමි.
 
විශේෂයෙන්ම මාගේ වැඩිහිටි දෙමවුපියන්, මා සේවය කළ ස්ථානයේ සහෝදර වෘත්තිකයන් මෙන්ම, මා ඇසුරු කළ සියල්ලන්ගේම සෞඛ්‍යය තත්ත්වය පිළිබඳ වගකීමද මගේ කරමතට ගනිමින්, ඒ වනවිටත් COVID-19 ආසාදිත බවට සැකසහිත රෝගීන් පරීක්ෂා කිරීම ආරම්භ කර, අදාළ පහසුකම් සලසා තිබූ කොළඹ ජාතික රෝහල වෙතින් වෛද්‍ය උපදෙස් ලබාගැනීමට මම තීරණය කළෙමි.
 
ඒ අනුව කොළඹ ජාතික රෝහල වෙත පැමිණි මා මුලින්ම එහි බාහිර රෝගී අංශයට යොමුවිය. කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශය COVID-19 ආසාදිත බවට සැකසහිත රෝගීන් පරීක්ෂා කිරීමට වෙනමම ස්ථානයක් එහි සකසා තිබුණේ වඩාත් ප්‍රායෝගික පිළිවෙත් අනුගමනය කරමිනි.
 
මා එම ස්ථානයේ සිටි මෙහොතේදී පවා ගිලන් රථවලින් ආසාදිත බවට සැකසහිත රෝගීන් කිහිප දෙනෙකුම කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ආහ. නමුත් ඒ සෑම අයෙකුම දුරස්ථභාවය තබමින් රඳවා ගැනීමටත්, නිතර අත් සේදීමට අවශ්‍ය පහසුකම් සැලසීමටත්, අනිවාර්යයෙන්ම මුඛ ආවරණයක් පැළඳ සිටීමටත් රෝහලෙන් උපදෙස් ලැබුණි. ඒ අනුව මුලින්ම බාහිර රෝගී අංශයේ වෛද්‍යවරු විසින් නිසි ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මා පරීක්ෂා කරන ලදී.
 
ඒ වෙත පැමිණෙන සෑම අයෙකුම කොරෝනා පරීක්ෂණය සඳහා රෝහලට ඇතුලත් කර ගන්නවාද, නැද්ද යන්න තීරණය වන්නේ එතැනදීය. විශේෂයෙන්ම මේ වෛද්‍යවරු විසින් අදාළ රෝගියාගේ පවතින රෝග ලක්ෂණ හා සංකූලතා පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාගනිමින් ඔහු COVID-19 ආසාදිත බවට සැකසහිත රෝගියෙකුද නැද්ද යන්න තීරණය කරනු ලබයි.
 
එම ස්ථානයට පැමිණි බොහෝ අය දිනක් හෝ දෙකක් උණ තත්ත්වය නිසාත්, උගුරේ ආසාදනය නිසාත් බියවී පැමිණ සිටි අයයි. ඔවුන් බොහෝ දෙනෙකුට අවශ්‍ය ඖෂධ ලබාදෙමින් ඔවුන් යළි පිටත්කර හැරියේ, කොරෝනා පරීක්ෂණය සඳහා තරම් රෝග ලක්ෂණ නොපෙන්වන බව වෛද්‍යවරු තීරණය කරමිනි.
 
එහිදී මා සම්බන්ධයෙන් මුලින්ම රුධිර පරීක්ෂණයක් කළ ඔවුන් ඉතා කෙටි කාලයත් තුළ එහි ප්‍රතිඵලයද ලබාගෙන එහි විශේෂයෙන් සඳහන් කළ යුතු සංකූලතාවක් නොපෙන්වන බව මට පැහැදිලි කළේය. කෙසේ වෙතත් දින 8ක කාලයක් උණ රෝගයෙන් පෙළීමත්, උගුරේ ආසාදනයක් පැවතීමත්, මාගේ වෘත්තිය අනුව නිතර විවිධ පිරිස් සමග ගැටීමට සිදුවීමත් නිසා මට COVID-19 ආසාදිත බවට සැකහැර දැනගැනීමට නියම කරමින්, කොළඹ ජාතික රෝහලට මා ඇතුළත් කරගැනීමට වෛද්‍යවරු තීරණය කරන්නට විය. ඒ මොහොතේ පවා එතැන සිටි වෛද්‍යවරිය මට කියා සිටියේ, "පුතා භය වෙන්න එපා. දැන් ඔයාව වෝඩ් එකට එක්කගෙන යයි" කියාය.
 
ඒ අනුව කොළඹ ජාතික රෝහලේ COVID-19 ආසාදිත බවට සැකසහිත රෝගීන් සඳහාම විශේෂයෙන් වෙන්වූ වාට්ටුව වෙත මා රැගෙන යන ලදී. වාට්ටුව අසලට සෞඛ්‍ය සේවකයෙකු සමග ගියද, පසුපස දොරෙන් වාට්ටුවට මට ඇතුළු වන්නට වූයේ තනිවමය.
 
ඒ එම වාට්ටු සංකීර්ණයම සම්පූර්ණයෙන් නිසි ආරක්ෂිත ක්‍රමවේද අනුව සකසා තිබූ නිසාය. පුරුෂ පක්ෂයට හා ස්ත්‍රී පක්ෂයට වෙනම වාට්ටු පේළි දෙකක් එහි දෙපස විය. කොරිඩෝව දිගේ වාට්ටුව ඉදිරියට පැමිණි මට එහි මද දුරක් එනවිට ඉදිරිපස කෙළවරේ වීදුරුවෙන් එපිට සිටි සෞඛ්‍ය කාර්ය මණ්ඩලයෙන් සංඥාවක් ලැබුණේ ඉන්නා තැනම සිටින ලෙසය. සාමාන්‍යයෙන් රෝහලක වාට්ටුවකට ඇතුළු වනවිට ලැබෙන අත්දැකීමට වඩා එය අතිශයින්ම වෙනස් අත්දැකීමක් විය. හිතට යම් චකිතයක්ද ඇති නොවූවාද නොවේ.
 
වාට්ටුවේ සිටි අනෙකුත් රෝගීන් දෙස මම බැලුවෙමි. ඔවුන් සියලු දෙනාම ඇඳන් මතය. ඇතමෙකු මා දෙස බලා සිටියත්, ඔවුන්ද මුහුණ ආවරණ දමා සිටි නිසා ඇස් දෙක ඇරෙන්නට මුහුණේ මැවෙන සිනාවක්වත් දැකගත නොහැකි වූයෙන් හිතට දැනුණු චකිතය තරමක් වැඩිවිය. කෙසේ වෙතත් එය තවත් තීව්‍ර වන්නට පෙර ඉදිරියේ නාද වූ දුරකථනයට පිළිතුරු දෙන ලෙසට වීදුරුවෙන් එපිට සිටි සෞඛ්‍ය කාර්ය මණ්ඩලයෙන් මට පණිවුඩයක් ලැබුණි. මට මුලින්ම කතා කළේ හෙදියකි. ඇය බොහොම කාරුණිකව මා ආමන්ත්‍රණය කරමින් වාට්ටුව තුළ අනුගමනය කළ යුතු පිළිවෙත් එකිනෙක විස්තර කරන්නට විය.
 
"ඔයා මේ ඇතුලත් වෙලා තියෙන්නෙ COVID-19 ආසාදිත බවට සැකසහිත රෝගීන් ඉන්න වාට්ටුවට. ඒ නිසා කිසිම අයුරකින් බය වෙන්න එපා. හැබැයි මේ වාට්ටුවෙදි ඔයා අනෙක් රෝගීන් සමග කතාබහ කරමින්, අනවශ්‍ය ලෙස එහාමෙහා ඇවිදිමින් ඉන්න එපා. පුළුවන් තරම් ඇඳටම වෙලා තමන්ගෙ පාඩුවෙ ඉන්න. හැම තිස්සෙම ඔයා දෙඅත් පිරිසිදුව තියා ගන්න. මේ හැම තැනම විෂබීජ නාශක දියර තියල තියෙන්නෙ.
 
මොනම අයුරකින්වත් කෑම ගනිද්දි හැරෙන්න මාස්ක් එක ගලවන්න එපා. ඔයා කිසියම් සැකසහිත පෘෂ්ඨයකට අත තිබ්බොත් වහාම දෙඅත් පිරිසිදු කරගන්න. ඒ වගේම මේ ලෑන්ඩ් ෆෝන් එක පාවිච්චි කළාට පස්සෙ ඒකත් ඔයා විසින්ම පිරිසිදු කරල තියන්න ඕනෙ. ඒකට අවශ්‍ය විෂබීජ නාශක ඔතනම තියෙනවා. මොකද තව කෙනෙක් ඕක පාවිච්චි කරද්දි ඒක පිරිසිදුව, විෂබීජවලින් තොරව පැවතීම මෙතනදි වැදගත්.
 
ඔයාට දැනට ඕන කරන දෙයක් තියෙනවා නම් අපිට දෙන්න පුළුවන්. මොනවාම හරි ගෙදරින් ගෙන්වා ගන්න ඕනෙ නම් එකපාර එක්වතාවකට පමණක් ගෙන්වා ගන්න. ඒත් ඒ කාටවත් ඔයාව බලන්න වාට්ටුවට එන්න දෙන්නෙ නම් නැහැ. විශේෂයෙන්ම ඔයාව කොරෝනා පරීක්ෂණයට භාජනය කරල ප්‍රතිඵලය නෙගටිව් (Negative) වුණොත් ඔයාගෙ ටිකට් කපනවා. එතකොට ඇඳගෙන හිටපු පරණ ඇඳුම් ගලවල දාල, හොඳට නාගෙන වාට්ටුවෙන් ඉවත් වෙලා යන්න, ඔයාට අලුත් ඇඳුමක් තියෙන්න ඕනෙ. ඒ නිසා අලුත් ඇඳුමක් ළඟ නැත්නම් ගෙන්වා ගන්න. දැන් ඔයා ආහාර අරගෙනද ඉන්නෙ. කෑමට මොනව හරි ඕනෑ නම් කියන්න. අංක 29 ඇඳ ඔයාට වෙන්කරලා තියෙන්නෙ. එතනට ගිහිල්ල ඉන්න. ආයෙත් අපි ඔයාට කතා කරන්නම්."
 
මුලින් වාට්ටුවට ඇතුළු වනවිට තිබූ චකිතය සම්පූර්ණයෙන්ම පාහේ පහව ගියේ මෙම සෞඛ්‍ය සේවකයන්ගේ අප්‍රමාණ කරුණාව නිසාය. පිළිවෙළට සකසා තිබූ ඇඳමත වාඩිවූ මම ඇඳුම් කිහිපයක් සමග ගෙනා බෑගය පැත්තකින් තැබුවේ සැනසුම් සුසුමක් සමගය. මට වෛරසය ආසාදනය වී තිබුණත්, නැතත් මා ආරක්ෂිත යැයි යන හැඟීමක් මට දැනුණි. මිතුරෙකුට ඇමතුමක් දී මට අලුත් ඇඳුමක් සමග වාට්ටුවේ රැඳී සිටීමට අවශ්‍ය දෑ ගෙන්වා ගැනීමට කටයුතු කළේ, රෝහලකදී අත්‍යවශ්‍ය සබන්, ටූත්පේස්ට්, බුරුසු ආදී ද්‍රව්‍ය රෝහලෙන් ලබානොගෙන ඒවා අවශ්‍යම අයෙකුට ලබාදීමට ඉතිරි කළ යුතු බව සිතමිනි.
 
මන්දයත් යම් ලෙසකින් අප සබන් කෑල්ලක් ඉල්ලා සිටියේ නම්, සබන්, ටූත්පේස්ට්, බ්‍රෂ්, තුවා ඇතුළු සියලු දේ සහිත මල්ලක් රෝහලෙන් ලබාදෙන අතර, ඊට අමතර බිස්කට්, යෝගට්, දොඩම් ආදී කෙටි ආහාර සහිත වෙනම කෙටි ආහාරද ලබාදීමට තරම් අප සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ මොහොතේ වඩාත් සානුකම්පිතව කොරෝනා මැඬලීමේ කාර්යයට එක්ව සිටි නිසාය.
 
ඉතා සුළු කාලයකින් නැවත දුරකථන ඇමතුමක් සමග එම වාට්ටුවේ වෛද්‍යවරයෙකු මා අමතනු ලැබීය. මට පැවති උණ තත්ත්වය, රෝග ලක්ෂණ හා සංකූලතා පිළිබඳ විස්තර, පසුගිය කාලය තුළ මා ඇසුරු කළ අය මෙන්ම, මා ආගිය තැන් ආදී සියලු විස්තර ඔහු විනාඩි කිහිපයක් මා සමග කතා කළේය. අවසානයේදී මට බියවීමට අවශ්‍ය නොමැති බවත්, අවශ්‍ය උපදෙස් අනුව කටයුතු කරන ලෙසත් බොහොම කාරුණිකව එම වෛද්‍යවරයාද මට උපදෙස් දුන්නේය.
 
මෙතැන් සිට මම ඇඳ මතට වී එම රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සිදුකරන අප්‍රමාණ කාර්යභාරය දෙස බලා සිටියෙමි. ඔවුන් මේ වසංගත තත්ත්වය පාලනය කිරීම සඳතා තම ජීවිත කැප කරමින් මේ දක්වන සහාය පිටත සිටින අයෙකුට දැකගන්නට හැකි නම් ඔවුන් වල්මත්ව නොහැසිරෙන බව මට සිතුනි. හඳට යෑමට සැරසෙන අයවලුන් සේ සැරසී අප වාට්ටුව වෙත පැමිණෙන සෞඛ්‍ය සේවකයන් තිදෙනෙකු එම වාට්ටු සංකීර්ණය සෑමවිටම පිරිසිදුව තබාගැනීමට යුහුසුළු විය. විෂබීජ නාශක යොදා එහි බිම ඇමදීමටත්, ඇඳ, පුටු, මේස, පැති බැමි ආදී සියල්ල පිරිසිදු කරන්නටත් විය.
 
එමෙන්ම එහි වැසිකිලි හා කැසිකිලිද ඉතා හොඳන් පිරිසිදු කරන්නට ඔවුන් කටයුතු කළේය. ඒ කැපකිරීම හමුවේ ඔවුන්ටත් ආරක්ෂාවක් හා නිදහසක් ලබාදීමට අප තවදුරටත් වගකීමෙන් යුතුව හැසිරිය යුතු නොවේදැයි ඒ දර්ශන යළි යළිත් මට පසක් කළේය. එක්වරම දුරකථනය නාදවන්නට විය. දුරකථනය ආසන්න ඇඳක සිටි මට සංඥාවක් ලැබුණේ ඊට පිළිතුරු දෙන ලෙසය. ඒ මොහොතේ වාට්ටු සංකීර්ණය පිරිසිදු කළ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු එම කාර්ය අවසන් කර පිටතට ගොස් සිටියද එක් අයෙකු ගැන හෝඩුවාවක් නොවීමෙන්, ඒ ඇමතුම හෙදියකගෙනි.
 
"අනේ පොඩ්ඩක් බලන්න අපේ ස්ටාෆ් එකේ කෙනෙක් බාත්රූම් එක පිරිසුදු කරමින් ඉන්නවද කියලා. මොකද එයාල ඇඳන් ඉන්න ඇඳුම ඇඳගෙන පැය භාගයකට වැඩිය ඉන්න බෑ. ක්ලාන්ත වෙනවා. කරුණාකරලා පොඩ්ඩක් බලන්න."
 
මම වහාම යුහුසුලු වූ අතර, එහිදී ඔහු නිරුපද්‍රිතව සිටින බව මට දැකගැනීමට හැකි වුවත්, අප සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන් සිදුකරන කාර්යභාරයේ වටිනාකම හා ඔවුන් මේ වෙනුවෙන් දරණ වෙහෙස පිළිබඳ වචනයෙන් විස්තර කළ නොහැකි අත්දැකීමක් මා ඇස් ඉදිරියේම සපථ විය. එමෙන්ම අපට අවශ්‍ය ආහාර නිසි සෞඛ්‍ය ආරක්ෂිතව ලබාදීමටත් ඔවුන් කටයුතු කළ අතර, සෑමවිටම මීටරයක දුරක් තබමින් එකිනෙකා පිළිවෙලට කෑම ගැනීමටද උන්නදු කළේය.
 
රෝහල්ගතව සිටින කාලය තුළ නිරන්තර උණ පරීක්ෂා කිරීම, අවශ්‍ය බෙහෙත් නිසි පරිදි ලබාදීම සිදුකරන්නට වූ අතර, අපට අමතර අවශ්‍යතාවක් වුවහොත් වහා පියවර ගැනීමට වෛද්‍යවරු හා හෙදියන් දිවා රෑ නොබලා එහි රැඳී සිටියහ. එමෙන්ම අප පැළඳ සිටි මුහුණ ආවරණ පැය කිහිපයකින් ඉවත්කර පැළඳීමට අවශ්‍ය අලුත් මුඛ ආවරණ ලබාදීමටද ඔවුන් ක්‍රියා කළේය.
 
මා රැඳී සිටි වාට්ටුවේ ඒ වනවිට ආරක්ෂක අංශවල නිලධාරීන් තිදෙනෙකුද COVID-19 ආසාදිත බවට සැකසහිත රෝගීන් ලෙස ප්‍රතිකාර ලැබූ අතර, එදින සවස ඔවුන් සියලු දෙනාත්, ප්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගීන් කිහිප දෙනෙකුත් කොරෝනා ආසාදිතයන් නොවන බවට නෙගටිව් (Negative) ප්‍රතිඵල පෙන්වමින් රෝහලෙන් පිටත්ව ගියේ යම් බලාපොරොත්තුවක් මා සිතටද ලබාදෙමිනි. එදිනම සවස කොරෝනා පරීක්ෂණයට අවශ්‍ය සෙම පටල ලබාගැනීමට අලුතින් රෝහල්ගත වූ මා ඇතුළු රෝගීන් කිහිප දෙනෙකු මුහුණ දුන්නේය.
 
උගුරෙන් සහ නාසයෙන් ලබාගන්නා එම පටල ආරක්ෂිතව තැන්පත් කර රැගෙන ගිය අතර, අපේ පරීක්ෂණ ප්‍රතිඵල පසුදා උදෑසන බොහෝවිට ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පවසා සිටියේය. එදින සවස් වනවිට කලින්ම රාත්‍රී ආහාරය සියලු දෙනා වෙත සපයන්නට විය. සියලු රෝගීන්ගේ උණ පරීක්ෂා කර අවශ්‍ය ඖෂධ ලබාදෙමින් රාත්‍රිය සුවසේ ගත කිරීමට අවශ්‍ය පරිසරය වාට්ටුව තුළ සකසා අවශ්‍ය ඕනෑම මොහොතක කතා කරන ලෙස අප දැනුවත් කළේය. එමෙන්ම බියක් හෝ චකිතයක් ඇති නොකර ගන්නා ලෙස බොහෝ අවස්ථාවල අපට උපදෙස් දුන්නේය.
 
කොරෝනා පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන දිනය බැවින් බලාපොරොත්තු සහගතව අවදි වූ මා මෙන්ම, පරීක්ෂණයට මුහුණදුන් බොහෝ දෙනෙකු වෙතින් දැකගත හැකි වූයේ එවැනිම බැල්මකි. උදෑසන ආහාර ලබාගත් අපට, උණ තත්ත්වය පරීක්ෂා කර අවශ්‍ය ඖෂධ ලබාදීමද සිදුවිය. කෙසේ වෙතත් ප්‍රතිඵලය අප සිතාසිටි වේලාවට නොලැබෙන බවත්, එය තරමක් ප්‍රමාද වන බවත් සැලවිය. කෙසේ වෙතත් ඒ රට තුළ පොලිස් ඇඳිරි නීතිය පැනවූ පළමු දිනය වූ බැවිනුත්, මේ සියලු බාධක මධ්‍යයේ පවා ඔවුන් මේ කාර්යයේ නිරත නිසාත්, ප්‍රතිඵලය ප්‍රමාදවීම ගැන කිසිදු අහිතක් මට ඇති නොවීය.
 
ශ්‍රී ලංකාව තුළ නිරෝධායන ක්‍රියාවලිය ආරම්භ කරනවිට ඉතාලියෙන් පැමිණි සුළු පිරිසක් යකා නැටූ ආකාරය අපට අමතක නැත. නිරෝධායන ක්‍රියාවලියට කලින් පැමිණ සැඟව සිට රට පුරා වෛරසය බෙදාහැරීමට කටයුතු කළ පුද්ගලයන් ගැනද රටක් ලෙස අප කම්පා විය. වගකීමකින් තොරව හැසිරුණ හා හැසිරෙන මෙම කුලකයේ අයෙකු මා රැඳී සිටි වාට්ටුවටද සැකසහිත ආසාදිතයෙකු ලෙස පැමිණ සිටියේය. තම ඇඳ මතට වී තමා පෞද්ගලික රෝහලක සේවය කරන්නෙකු බව සෙසු අයට ඇසෙන්නට හඬගා කියූ මොහුගේ ක්‍රියාකලාපය ඉතාලි අතලොස්සට නොදෙවෙනි විය.
 
"මේ ටෙස්ට් එකට මෙච්චර වෙලා ගන්න ඕනෙ නෑ. මොකද අපිත් හොස්පිට්ල්වල වැඩ කරන්නෙ. අපිත් ටෙස්ට් තමයි කරන්නෙ. අපි කොරෝන නම් කරල නෑ. ඒත් මෙච්චර වෙලා යන්න බෑ. මේක මාර වැඩක්නෙ. ටිකට් කැපුව නම් ගෙදර ගිහිල්ල අපිට ප්‍රයිවට් හරි බේත් ටිකක් ගන්න තිබුණනෙ. ඒගොල්ලන්ට නම් (වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩලයට) මොකද? එයාල හොඳට ආරක්ෂා වෙලා මේකට එන්නෙ. තියෙන ඔක්කොම ඇඳුම් ඇඳගෙන. මට දැන් හිටියටත් වැඩිය ඇඟට අමාරුයි වගේ."
 
ඔහුගේ මේ වාග් විලාසය හමුවේ එහි සිටි කිහිප දෙනෙකු නෑසූ කන්ව සිටියද, මෙවැනි වගකීමෙන් තොර කුපිත කරවන්නෙකු හමුවේ ඔහුට හූමිටි තියන පුද්ගලයන් එකා දෙන්නා වාට්ටුව තුළින් බිහිවන බව මම දුටිමි. තවදුරටත් නිහඬව සිටීම මගේ වගකීම ඉටු නොකිරීමක් බව සිතුණු නිසා මම හඬ අවදි කළෙමි.
 
"මේ පොඩ්ඩක් අහන්න. ඔයාටයි මටයි, මේ ටෙස්ට් එක කරල ඒක නෙගටිව් වුණොත් ගෙදර යන්න පුළුවන් වේවි. ඒත් ඔයා කොච්චර කෑගැහුවත් අපේ ටෙස්ට් එක පොසිටිව් වුණොත්, අපිට අයි.ඩී.එච්. යන්න වෙනවා. මේ වෛරසය ඇඟේ තියෙනවද, නැද්ද කියල අපි දන්නව නම් අපි මෙතනට එන්නෙ නෑනෙ. ටෙස්ට් එක නෙගටිව් වුණොත් අපි අද හරි හෙට හරි ගෙදර යයි. ඒත් මේ මිනිස්සුන්ට (සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට) අපි වගේම මේ රෝහලට ඇතුළත් වෙන හැම කෙනාවම බලාගන්න වෙනවා. එතකොට එයාල ආරක්ෂා නොවුණොත් ඔයාද, මමද මෙතන ඇවිත් වැඩ කරන්නෙ. පොඩ්ඩක් මො‍ළේ පාවිච්චි කරල, වගකීමකින් කතා කරන්න."
 
ඔහුගේ ඒ අඳෝනාව ඉන් ක්‍රමයෙන් බාල වුවද, නොයෙක් වර වගකීමෙන් තොර හැසිරීම් ඔහුගෙන් නිරන්තර ප්‍රකට වන්නට විය. පෞද්ගලික රෝහලක සේවය කරන්නෙකු යැයි පැවසූවත්, ඔහු බොහෝවිට තම මුහුණේ වූ මුඛ ආවරණය අතින් සකසන්නට වූයේද කිසිදු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය නොකරමිනි. ඔහුගේ අනියත බිය නිසාම ඔහුට හුස්ම ගැනීමට අපහසු යැයි පැවසූ විට සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විශේෂයෙන් සූදානම් වී පැමිණ ඔහු පරීක්ෂා කරන්නට වූයේ ක්ෂණිකව ක්‍රියාත්මක වෙමිනි. ඔහු අවලාද නැගූ අයම වෙනසකින් තොරව ඔහුට ප්‍රතිකාර කරන අයුරු මම නිසොල්මන්ව බලා සිටියෙමි. ඒ ප්‍රතිකාර හමුවේ ඔහුගේ කට ඉන් බොහෝ සේ නිහඬ විය.
 
ගත වූයේ පැය කිහිපයකි. කෙටි නින්දකට වැටී සිටි මට, "ටෙස්ට් එකේ රිසාල්ට්ස් ඇවිල්ලා" යනුවෙන් අසල ඇඳක සිටි අයෙකු කියනවා ඇසිණි. ඉදිරිපස වීදුරුවෙන් එපිට වූ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය යුහුසුළු වන අයුරින් ප්‍රතිඵල පැමිණ ඇති බව මටද සිතුනි. එය සනාථ කරමින් ඔවුන්ද වීදුරු කුටියේ සිට සංඥාවක් කළේය. මේ වනවිට සෞඛ්‍ය කාර්ය මණ්ඩලය රැඳී සිටි ස්ථානය සහ සැකසහිත ආසාදිත පිරිස අතර පණිවුඩ ලබාදීම සඳහා විශේෂ ශබ්ද විකාශන යන්ත්‍රයක්ද ඔවුන් සකසා තිබුණි. ඒ අනුව පසුදා සවස පරීක්ෂණයට භාජනය වූවන්ගේ නම් එකිනෙකට පිළිවෙලින් කියන්නට වූයේ ශබ්ද විකාශනය හරහාය. අවසානයේදී මගේ නමද ශබ්ද විකාශනයෙන් කියවුණු අතර දෙළොවක් අතර සිටි මා, නෙගටිව් හෙවත් ආසාදනය නොවූවන්ගේ ලැයිස්තුවට වැටුණේය. මා සමග පෙරදා පරීක්ෂණයට භාජනය වූ සියලු දෙනාම ආසාදනය නොවූවන්ගේ ලැයිස්තුවට වැටී තිබීම බොහෝ සතුටට කරුණක් විය.
 
"දැන් මේ කියපු ඔක්කොම අයට වෛරසය ආසාදනය වෙලා නෑ. ඒ නිසා ඔයාල හැමෝටම දැන් ටිකට් කපල තියෙන නිසා ගෙදර යන්න පුළුවන්. නම් නොකියපු අයගේ රිසාල්ට්ස් තවම ඇවිත් නෑ. එයාල භය නොවී ඉන්න ඕනෙ. ඔයාලගෙ වෛද්‍ය වාර්තාව වගේම, ඔයාලට දීල තියෙන බේත් ගන්න වාර්තාව අරගෙන යන්න. බේත් ටික ඕ.පී.ඩී. එකෙන් අරගෙන යන්න. දැන් ටිකට් කපපු හැමෝම තමන් ඇඳගෙන හිටපු ඇඳුම් ඉවත් කරලා, හොඳට නාගෙන, අලුත් ඇඳුම් ඇඳගෙන, ආපහු වාට්ටුවට නෑවිත් පසුපස දොරෙන්ම පිටත් වෙලා යන්න ඕනෙ. ගෙදර ගිහිල්ලත් ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් ස්වයං නිරෝධායනයකට ලක්වෙන්න ඕනෙ. ඔයාල ඇඳගෙන හිටපු මොකක් හරි ගෙදර ගෙනියන්න ඕනෙ නම්, අපි ඔයාල ඉස්සරහ තියල තියෙන ෂොපින් බෑග් එකක් අරගෙන ඒවා දාගෙන ගියාට කමක් නැහැ. හැබැයි හොඳට හෝදල මිසක් ආයෙත් අඳින්න එපා. ඒ වගේම අලුත් මාස්ක් එකක් දෙනව, යද්දි ඒක දාගෙන යන්න ඕනෙ."
 
ශබ්ද විකාශනයෙන් හෙදියක නැගූ මේ හඬ පහව යනවිට පසුපසින් ඇසුනේ ඉකි බිඳින හඬකි. මා පසුපස බැලූවිට තවත් සැකසහිත ආසාදිතයන් තිදෙනෙකු කොරිඩෝවේ පෝළිමේය. තරුණයෙකු හා තරුණියන් දෙදෙනෙකු ඒ එකා පසුපස එකා අතර වූහ. අවසානයේ සිටි තරුණිය තමා අත වූ රෙදි බෑගය බදාගෙන ඉකි බිඳියි. මා හටද මේ වාට්ටු සංකීර්ණය වෙත මුලින්ම ඇතුළු වනවිට යම් චකිතයක් දැනුණද අප වෙනුවෙන් කරුණාවෙන් යුතුව දිවාරෑ වෙහෙසෙනු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හමුවේ ඒ චකිතය පහව ගිය බව මා මුලින්ද ඔබට පැවසීය. හැඬූ කඳුලින් වාට්ටුවට පිවිසෙන නැගෙනියටද තවත් සුළු මොහොතකින් එය පසක් වනු ඇතැයි මම විශ්වාස කළෙමි.
 
අද වනවිට COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් අප රට මුදාගැනීමට සිය ජීවිත කැපකරමින් කටයුතු කරන අයි.ඩී.එච්. රෝහල (උණ රෝහල) හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායතනය මෙන්ම, මා මේ අත්දැකීම ලද කොළඹ ජාතික රෝහල සහ මේ වනවිට කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම වෙනුවෙන්ම දිවයින පුරා කටයුතු කරන සෑම රෝහලකම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අප්‍රතිහත කාර්යභාරය මීට නොදෙවැනි බව මා තරයේ විශ්වාස කරමි. එහිදී සැකසහිත රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහල් පමණක් නොව, COVID-19 ආසාදිතයන්ටම ප්‍රතිකාර කරන අයි.ඩී.එච්. රෝහල ඇතුළු රෝහල් කිහිපයෙහි සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල දායකත්වයද මෙතෙකැයි කියා ලඝුකළ නොහැකි තරම්ය.
 
ඒ තරමටම අප රට මුහුණදුන් සෑම අභියෝගයකදීම අප ජයගනු ලැබුවේ මෙවැනි වීර ලක් පුතුන් හා දියණියන්ගේ කැපකිරීම් හමුවේය. යුද හමුදාව ප්‍රමුඛ රටේ ආරක්ෂක අංශ විසින්ද ඒ සඳහා ප්‍රමුඛ කාර්යභාරයක් මේ මොහොතේ ඉටුකරමින් සිටින බව නොකියාම බැරිය. එසේ නම් රටේ ජනතාව ලෙස අපේ යුතුකම ස්වයංව අපේ ආරක්ෂාව සලසා ගනිමින්, රජය ප්‍රමුඛ සෞඛ්‍යා හා ආරක්ෂක අංශ ගන්නා මේ අපමණ වෙහෙස ගඟට කැපූ ඉනිමෙන් අපතේ නොහැරීමට ඉඩ සැලැස්වීමය. ලෝකයේ දියුණු යැයි සම්මත බොහෝ රටවල් අද හැඬූ කඳුලින් මේ වසංගතය හමුවේ පරාජය වී සිටින මොහොතක, වගකීමෙන් යුතු ශ්‍රී ලාංකේය පුරවැසියෙකු ලෙස අපි අපේ කාර්යභාරය මැනවින් වටහාගත යුතුව ඇත්තෙමු.
 
ඒ අනුව රට තුළ පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති මේ මොහොත නිරෝධායන ඇඳිරි නීතියක් බව අවබෝධයෙන්ම තේරුම් ගනිමින් සමාජ දුරස්ථභාවය සහිතව අප නිවෙස් තුළටම වී කටයුතු කළ යුතුව ඇත. එය සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල නිලධාරීන් නිදි වර්ජිතව සිදුකරන මේ කාර්ය භාරයට අප සියලු දෙනා එක්ව ලබාදෙන උසස්ම උපහාරයක් වනු ඇත. යුද හමුදාපතිවරයා සඳහන් කරන්නාක් මෙන්, අප පැරදුණු ජාතියක් නොවන බව සැබෑය. එය සිත්හි කාවද්දා ගනිමින්, ඒ කියමන සත්‍යයක් බව ලොවට හඬගා කියන්නට, නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින්, COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් ජයගන්නා ජාතියක් ලෙස මේ සටනට පූර්ණ සහයෝගය ලබාදීමට අපි සියලු දෙනාම එක්සිත්ව, එක්සත්ව නැගී සිටිමු.
 
- ෂමිල පෙරේරා
අද පුවත්පත
  

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top