පිළියන්දල නගරය කියන්නේ බොහෝ දෙනෙකුට "නොමැරෙන මතක" එක්කහු කර දුන්නු තෝතැන්නක්. එහෙව් තෝතැන්නක කෙළවරටම වුණු, ලංකාවේ උසම "ඔරලෝසු කණුවට" උරුමකම් කියන පිළියන්දල නගරයේ, පරණ බස් නැවතුම දැන් පාළුවට ගිහින්.
ඒ වෙනුවට අලුත් අමුත්තෙක් ඇවිත්. ඒත් ඒ "නව" බස්නැවතුමටත් වඩා "මතක" පිරිච්ච "පරණ බස්නැවතුම්පළේ" ඉපැරණී මතකයන් බොහෝමයක සංවේදී සටහනක්, තරුණයෙකු සිය ෆේස්බුක් ගිණුමේ මෙසේ සටහන් කර තිබුණා.
පෙම්වතිය බස්රථයට ගොඩ වදිනතුරු මැද කොටසේ බිත්තියට හේත්තු වී බලා හිඳිනා පෙම්වත්තු,
දෙපැත්තේ රටකජු කඩ වලින් රටකජු ගොට්ටක් රසවිඳිනා පාසැල් කොළු පැටව්, ධර්මසේන ආටිගල බාලිකාවේ, පොදු පාසැල් බාලිකා, ගල්කිස්ස උසස් බාලිකාවේ, වේල්ස් කුමරි හා කොළඹ බාලිකා පාසැල් වල බස් රථ පැමිනෙණා තුරු රස්තියාදු වන කොළු ගැටව්,
පාසල අවසන් වීමෙන් පසුව බස් නැවතුම කලින්ම ආක්‍රමණය කරනා මධ්‍ය විද්‍යාලයීය සිසු සිසුවියන්,
ඊට මද වේලාවකට පසුව ධර්මරාජ විද්‍යාලයේ, ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයෙන් පිරී ඉතිරී යන සිසු සිසුවියන්,
පොඩි කොලු ගැටවුන්ගෙන් කප්පමට කීයක් හරි කොටාගන්න පැමිණෙන අයි.ආර්.සී. අයියලා,
බස් ස්ටෑන්ඩ් එකට ලේබල් උනු චන්ඩි අයියලා,
සිටි හෝටලයෙන් එන පාන්, බනිස් සුවඳට මත්වී ඉව අල්ලන්නෝ,
බස් නැවතුමේ පිටුපස කොටසට ගිය විට නහය කඩාගෙන යන තරමට දැනෙන පොදු වැසිකිලියේ මුත්‍රා ගඳ නිසා මූණු නොරොක් කරගත් මිනිසුන්,
බස් නැවතුමට ආසන්නව තිබූ අඳුරු තෝසේ කඩෙන් තෝසේ ගිල, ප්ලේන්ටියක් බී දුම්වැටියක් උරමින් පැමිනෙන්නන්,
රංග රෙකෝඩ් බාර් තුලින් නික්මෙන 70, 80, 90 දශකයේ ගීත මුමුණමින් කල්මන්නන්,
පිරෙන බස් රථයේ පාපුවරුවේ එල්ලෙන්නට කල්මරමින් ඉන්නා කොළු පැටව්,
කනිටු පාසැල් උනු සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලයේත්, අංක 01 කණිටු විදුහලෙත් පුංචි දරුවෝ එක්ක ගෙවල් වලට යන්න එන මව්වරු,
ඉදහිට ඒ කොනින් ආරම්භ වී එහා කොනින් අවසන් වන වා සුලි වැනි ගැටුම් ඇති කරගත් චන්ඩි,
හවස් වරුවේ බස්රථයේ පෝලිම අල්ලා ගැනීමට දිව එන ඔෆිස් යන මහත්තුරු නෝනලා,
ජනේලයක් ලග ආසනයක් අල්ලා ගැනීමට පොරකා දිව යන පොඩි දරුවෝ,
රාත්‍රී අවසන් බස් රථය පැමිණෙන තුරා දෑස් දල්වා බලා හිදින්නන්,
පෝලිම අසලට විත් පෝලිමේ නොයිද බස් රථයේ අසුනක් අල්ලා ගැනීමට කුරුමානම් අල්ලන්නෝ,
උදෑසන කොළඹ පාසැල් බස් රථ සදහා දුවගෙන එන ශිෂ්‍යයෝ,
නොයෙක් නොයෙක් විලාසිතා වලින් සැරසී කල් මරන තරුණ ගැටව්,
හොරෙන් දුම්වැටි මිලදීගෙන කොනකට වී පානය කරන කොල්ලන්,
මුකුළු පාමින් රංචු පිටින් සුදු ඇඳුමින් සැරසී නිවෙස් බලා යන පාසල් ශිෂ්‍යාවන්,
එකට අත් අල්වා බස් රථයේ එකම අසුනක් අල්ලා ගැනීමට තනන පෙම්වත්තු,
අතක් පයක් කැඩී, ඇසක් නොපෙනී, යැයි කියාගනිමින් සිඟමන් යෙදෙනන්නෝ,
ස්වයං රැකියාවක ලෙස තම නිෂ්පාදනයන් විකුණන්නෝ,
බස් රථයේ සෙනග වැඩිවෙන තුරු බලා සිට ඒ තුලට රිංගා කාම ආශා සංසිදුවා ගැනීමට වෙර දරන්නෝ,
රාත්‍රියේ මරණ දැන්වීම්, පන්ති, දේශන, දේශපාලන, පෝස්ටර් ඇලවීමට පැමිණෙන මිනිසුන්,
පොත්පත්, පත්තර බස් රථ තුල අලෙවි කරන්නෝ,
බස් නැවතුමේ අයිතිකරුවන් බඳුවූ ඩිපෝවේ කාල සටහන් පරීක්ෂක හා පොදු ප්‍රවාහන සේවා වල රියදුරු හා කොන්දොස්තර මහත්වරුන්ගේ කල්ලි,
රාත්‍රී කාලයේ ලැගුම්හල කර ගත් සිඟමනේ යෙදෙන්නන්,
රාත්‍රියේදී වැඩියමනක් කුණුහරුප වැහෙන ගැටුම් ඇති කර ගත් සිඟමන් යදින්නන්,
රාත්‍රී අඩ අඳුරේ තම රාජකාරී හරි අකුරටම ඉටු කරන හෙරෝයින් පානය කරන්නන් හා ගංජා පානය කරන්නන්,
බස් නැවතුමට පැමිණෙන සෑම සියල්ලක්ම හොදින් දන්නා හඳුනන බස් නැවතුමටම සම්බන්ධ මුළු පිළියන්දලක් හඳුනන මනස විකෘති වූ මිනිසුන් සේම,
ඉඳහිට උඹත් මමත් අත් අල්ලාගෙන ගිය....
අපි කව්රුත් ඇවිද ගිය "පිළියන්දල" බස් නැවතුම සමුගැන්මට සුසුම් හෙළමින් අද විවේකීව බලා හිඳී............
සටහන - Milinda Shanaka Soysa
ඡායාරූපය Suramya Mapitiya මහත්මියගේ ෆේස් බුක් පිටුවෙන් උපුටා ගත්තකි.
