ලෝක කුසලානය ලක්මෑණියන් තුරුලට ගෙන එන්නට මැවූ සිහිනය අපෙන් බොඳවී අවසන්ය. නෙතඟට ආ කඳුලු හොරෙන් පිසදමාගෙන මෙවරත් අප ඒ අමිහිරි මතකය සමුදෙන්නට තවමත් වෙර දරමින් සිටී.
ඒ සියල්ල අතර ඊයේ (18) දිනයේ සිදුවූ සිදුවීමක් අප ඔබ වෙත ගෙන එන්නට තීරණය කළෙමු. සියල්ලන්ම ශ්‍රී ලංකා පිළේ කඩුලු එකින් එක දකුණු අප්‍රිකානුවන් ගොදුර කරගන්නා අයුරු බලා සිටියේ පපුවට දෑත තුරුළුකරගෙනය.
ඒ අතර පිටියට පිවිසි නුවන් කුලසේකරටද ස්ථාවර ඉණිමක් ක්‍රීඩා කිරීමට හැකියාව ලැබුණේ නැත. 7වන කඩුල්ල ලෙස ඔහු දැවී ගියේය. සියලු දෙනා ඔහුටද කටින් පිට නොකලත් සිතින් දශමයක් හෝ දොස් කියන්නට ඇත.
ඒ සියල්ල අතර ඔහු දැවී ගිය ආකාරය පිළිබඳව මෙතෙක් කිසිවෙකු කතා කලේද නැත. විනිසුරු ඔහු දැවීගිය ක්‍රීඩකයෙක් ලෙස නම් කලේ නැත. නමුත් තමන්ගේ හෘද සාක්ෂියට එකඟව ක්‍රීඩාගාරයට වෙත ඔහු පියනැගුවේ පන්දුව පිත්තේ දැවටුනු බව ඔහු හොඳින්ම දත් නිසාය.
පරාජය පෙනි පෙනී සිටි ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ඔහුට පිටියෙන් ඉවත් නොවී ඉන්නට ඕනෑතරම් අවස්ථාව තිබුණි. නමුත් ක්‍රීඩාවේ මහත්මාගුණට ගරුකරමින් ඔහු එලෙස නොකර පිටියෙන් ඉවත්ව ගියේ නැවතත් ලොවට ආදර්ශයක් හා ලාංකිකයන්ට ආඩම්බරයක් ගෙන එමින්ය.