Thiru Kumar කියන්නේ ශ්‍රී ලංකාවේ උපන් දකුණු ඉන්දියානු සම්භවයක් ඇති පුද්ගලයෙක්. ඔහු මේ වෙද්දී ජිවත් වෙන්නේ නිව්යෝක් හි Greenwich යන ප්‍රදේශයේ. ඔහු එරටට යන්නේ බිරිද හා දියණිය එක්ක. වර්ෂ ගණනාවකට පෙර එරටට ගිය ඔහු මුලින්ම රැකියාවක් ලෙස කරන්නේ ගොඩනැගිලි ඉදිකිරීම් සම්බන්ධ රැකියාවක්. එම රැකියාවට සමුදෙන ඔහු ගෑස් සමාගමක රැකියාවක් කරනවා.
නමුත් මේ කිසිම රැකියාවක් හරියට කරගන්න බැරි වුණු කුමාර්ට යහළුවෙක් යෝජනා කරනවා ඉන්දීය ක්‍රමයට රසට තොසේ කෑම හට් එකක් ආරම්භ කරන්න කියලා. ඔහු ඒ යෝජනාව අත්හදා බලන්න Washington Square කියන පාක් එකේ පුංචියට තොසේ හට් එකක් දාගන්නවා. ඒ වර්ෂ 2001 දී. එදා පටන් අදටත් ඔහු එම ප්‍රදේශයේ ප්‍රසිද්ධ තොසේ මෑන්. හැමෝම ඔහුව අමතන්නේ එහෙමයි. පුංචි රටක ඉපදිලා ලෝකයට අභියෝග කරන්න ගිය කුමාර් ඒ ගැන කියන්නේ මේ වගේ කතාවක්.
"හැමෝම මට කතා කරන්නේ තොසේ මෑන් කියලා. මම 2001 අවුරුද්දේ තමයි මේ විදිහට තොසේ හට් එකක් දාගත්තේ. මම මගේම ක්‍රමයකට තමයි මේ කෑම හදන්නේ. මට මතකයි මගේ ආච්චි තොසේ හදපු විදිහ. මම හිතෙන්නේ මම එයාගෙන් තමයි ඉගෙන ගත්තේ තොසේ හදන්න. එයාගේ රෙසිපි එකත් මට ඉවහල් වුනා. මගේ කෑම සදහා කිසිම මස් වර්ගයක් භාවිතා කරන්නේ නැහැ. ඔක්කොම වෙජිටේරියන්. හැමෝම කියනවා රසයි සැරයි කියලා. මේ සදහා කිසිම විදිහකින් කෘතීම ශක්තිජනක දෙයක් භාවිතා කරන්නේ නැහැ. සියලු දේ ස්භාවිකයි. ඒ නිසා ඉන්දියානු ක්‍රමයට හදන තොසේ , මසාලා තොසේ, අල බොන්ඩා, රොටි, සිංගප්පුර් නුඩ්ලස් කන්න බොහෝ දෙනෙක් එනවා. බොහෝ දෙනෙක් දිනපතා එනවා. සමහරු සතිපතා එනවා. තවත් සමහර අය ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවීම් කරන්න එනවා. සමහර අය මට මාසිකව ගෙවීම් කරන අයත් ඉන්නවා. ඔවුන් මගේ විස්වාස පාරිභෝගිකයින්. හැමෝම එන්නේ හිතවත් අය. ඒ හැමෝම මට හරිම ආදරෙයි..ඒ නිසා මගේ ව්‍යාපාරය හොදින් කරගෙන යන්න හැකියාව ලැබිලා තියෙනවා.
මම ගැන කතා කළොත් මගේ අම්මා ඔරිජිනල් ශ්‍රී ලංකා කෙනෙක්. එයා කතා කරන්නේ දකුණු ඉන්දියානු දෙමල භාෂාව. මම අවුරුදු 25ක් හැදුනේ වැදුණේ ශ්‍රී ලංකාවේ. එහේ බීච් ඒරියා එකේ තියෙන හෝටලයක වැඩ කළා. වැල්ලේ සින්දු කිව්වා. මම කාලයක් වෘත්තිය මෝටර් බයිසිකල් ධාවකයෙක් හැටියට කටයුතු කළා. මගේ තාත්තා හරිම නීතිකාරයෙක්. ඒ නිසා ඒ දේවල්වලට කාලයත් එක්ක සමුදෙන්න සිදු වුණා. මම දරුණු යුද්ධයත් එක්ක ශ්‍රී ලංකාවේ ජිවත් වුනු කෙනෙක්. ඒ කාලේ ශ්‍රී ලංකාවේ තිබුණු දරුණු යුද්ධයත් එක්ක අපිට රජයෙන් අවස්ථාවක් ලැබුණා ග්‍රීන් කාඩ් ක්‍රමයට විදෙස් ගත වෙන්න. ඒ අනූව තමයි අපි වර්ෂ 1991 ජුනි 14 මේ රටට එන්නේ. මම මගේ බිරිද හා දරුවා එක්ක අවේ. මුලින්ම මම ගොඩනැගිලි ක්ෂේත්‍රයේ රැකියාවක් කළේ. පස්සේ ගෑස් ෆැක්ට්‍රි එකකත් අයන් ෆැක්ට්‍රි එකකත් වැඩ කළා. ඒ අතර තුර තමයි යාලුවෙක් මට යෝජනා කළේ මේ වගේ ව්‍යාපාරයක් පටන් ගන්න කියලා. ඒ පටන් ගත්දා ඉදලා අද වෙනකල් මම මේ කටයුත්ත කරගෙන යනවා. මගේ ආච්චි මට කිව්වා දෙයක් තමයි හරියට උයන ක්‍රමය අල්ලාගත්තේ නැත්තම් මේ වැඩේ පහසු දෙයක් නෙමෙයි කියන එක.
මම උදෙන්ම නැගිටලා භාවනා කරනවා, යොගා වගේම ව්‍යායාම් කරනවා මාරුවෙන් මාරුවට. වැඩ ටික අවසන් කරලා ගෙදර යන්න කලින් පසුවදාට අවශ්‍ය කළමනාකරණ ටික වෙළෙද සැලෙන් මිලදීගෙන යනවා. ඒ විදිහට තමයි මගේ ජිවිතේ දැන් ගෙවෙන්නේ..."
