ජයලත් මනෝරත්න කියන්නේ අපේ රටේ රංගන ක්ෂේත්‍රයේ වටිනා චරිතයක්. කුමන චරිතයක් ඔහුට දුන්නත් ඒ චරිතයට අනුරූප වෙන්න ඔහුට හොද හැකියාවක් තිබෙනවා. මේ දවස්වල වැඩිපුරම කතා කරන්නේ ඔහු ගැහැණු චරිතයකට වෙස් ගත්ත එක. ඔහු ඒ ගැන මේ විදිහට පුවත්පතකට කතා කර තිබුණා. මේ ඒ කතාබහ ගැනයි.
ඔබ කාන්තා ඇඳුමින් සැරසී ගනු ලැබූ ඡායාරූප පෙළක් මේ දවස්වල අන්තර්ජාලය කළඹවනවා? ජයලත් මනෝරත්න කියන ප්‍රවීණ කලාකරුවා එක පාරටම ගැහැනියක් වුණේ කොහොමද?
මේ දවස්වල හැමෝම අහන්නේ ඔය ප්‍රශ්නය තමයි. මේකයි ඇත්තම කතාව. මම අලුතින් චිත්‍රපටයක රඟපානවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ සුසිරන් ද සිල්වා. චිත්‍රපටයේ නම මම මිස් ජෙනිස්. මේ කියන චිත්‍රපටය වෙනුවෙන් තමයි ඔය ඡායාරූප ගත්තේ.
මේ චිත්‍රපටයේ ඔබ රඟපාන්නේ කාන්තා චරිතයක්ද?
නැහැ. චිත්‍රපටයේ හැටියට මගේ නම ලියෝන් ඔහු රැකියාවක් නැති කමින් පීඩා විඳින පුද්ගලයෙක්. බැරිම තැන ඔහු රැකියාවක සම්මුඛ පරීක්ෂණයක් සඳහා යන්නයි මේ විදියට වෙස් ගන්නේ. ඔහු ධනවත් පවුලක දඩබ්බර ගෑනු ළමයෙකුගේ පාලිකාවක් විදියට යනවා. ඒ සඳහා යන්නේ මිස් ජෙනිස් විදියට. එවැනි කතාවක් තමයි චිත්‍රපටය පුරා ගලා යන්නේ.
මෙය හාසේයා්ත්පාදක චිත්‍රපටයක්ද?
නැහැ. එය තමයි මෙහි ඇති විශේෂත්වය. මෙහි සමාජය ගැන සියුම් විවරණයක් කරන චිත්‍රපටයක්.
නමුත් ඔබේ චරිතයේ ස්වභාවයත් සමගම ඊට හාස්‍ය එකතු වෙනවා නේද?
ඒක තමයි මම මුහුණ දීපු ලොකුම අභියෝගය. මේ චිත්‍රපටය නරඹලා මිනිසුන් හිනා වුණොත් නම් මම අසාර්ථකයි. මොකද අධ්‍යක්ෂවරයා වුණත් මගෙන් බලාපොරොත්තු වුණේ, ඉන් එහා ගිය රඟපෑමක්. හරියට කඹයක් උඩ යනවා වගේ සියුම් රඟපෑමක්. හැබැයි මේ සඳහා මට සෑහෙන සූදානමක් වෙන්නත් සිදු වුණා.
අපිත් ආසයි ඔබ ඒ චරිතයට හැඩ ගැහුණු ආකාරය ගැන දැන ගන්න?
ඔස්ටින් හෝජමාන් වැනි නළුවන් කාන්තා චරිත රඟපෑ විශිෂ්ට ගණයේ චිත්‍රපට 7ක් විතර මා නැරඹුවා. බටහිර සංස්කෘතිය තුළ කාන්තාව හා පුරුෂයාගේ ඇවතුම් පැවතුම් ගමන් බිමන් ඉරියව් වල ලොකු වෙනසක් නෑ. ඒ හින්දා පිරිමියෙකුට ගෑනු චරිතයක් රඟපාන එක අමාරු නැහැ. ඒත් පෙර දිග සමාජයේ කාන්තාවගේ පැවතුම් තුළ යම් ලාලිත්‍යයක් තියෙනවා. හාස්‍යය මතු නොවන විදියට ඒ ලාලිත්‍ය මතු කරන්න මට සිදු වුණා. කොටින්ම මගේ බිරිඳ ගෙදර හැසිරෙන ආකාරය පවා මම අධ්‍යයනය කළා.
ඔබ කාන්තාවක් විදියට සැරසිලා ඉන්න විට අපටත් හඳුනාගන්න බැරි වුණා මේ ජයලත් මනෝරත්න කියලා?
ඇත්තටම ඔව්. මොකද මේක අමුතුම වැඩක්නේ. නලින් ප්‍රේමතිලක (වේශ නිරූපණය) හරුන් (කොණ්ඩා සැකසුම) ශාන් (ඇඳුම්) තිදෙනාගේ දක්ෂතාවය තමයි ඒ. පාන්දර 4ට වාඩි වුණාම ඒ දවස් ටිකේ මම නැගිට්ටේ 6.30ට විතර. ඒක එතරම් දීර්ඝ කාලයක මේක්අප් එකක්.
“මිස් ජෙනිස්”ට හඬ සපයන්නේත් ඔබමද?
නැහැ. චරිතය වඩා හොඳින් තාත්විකව මතුවන්න පිරිමි හඬට සමාන ශිල්පිනියකගේ හඬ කැවීම කරන්නයි හිතාගෙන ඉන්නේ.
කවදාද මිස් ජෙනිස් අපට දැකගන්න ලැබෙන්නේ?
හපුතලේ රූගත කළා. දැන් කොළඹ රූගත කිරීම් කරනවා. දර්ශන වලින් තුනෙන් එකක් රූගත කරලා අවසන්. හැකි ඉක්මනින් මේ චිත්‍රපටය ජනතාවට දැක බලා ගන්න පුළුවන් වේවි.
ඔබේ කලා දිවියේ අලුත් තොරතුරු මොනවාද?
මෑත කාලයේ මට චිත්‍රපට 5ක විතර රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම මගේ තලමල පිපිලා නාට්‍යය ජූලි 24දා යළිත් වේදිකාගත වෙනවා. වන ලැහැබක නමින් අලුත් නිර්මාණයකට මේ දිනවල සූදානම් වෙනවා.
ආරියවංශ කුලතිලක