1980 අංක 46 දරණ පාර්ලිමේන්තු පනත යටතේ මෙරට සියලුම රජයේ ලියාපදිංචි සේව්‍ය ආයතන තුළ සේවයේ නියුතු සේවා නියුක්තිකයන්ගේ මාසික වැටුපෙන් 3% ක මුදලක් සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලට බැර කළ යුතුය. ඒ අනුව දැනට ශ්‍රී ලාංකිකයන් මිලියන 3.55ක පමණ පිරිසක් මෙම සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලට හිමිකම් කියතී.
දැනට සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල තුළ සාමාජික ගිණුම් 99 ලක්ෂයක් ඇති අතර, ඉන් සක්‍රීය සාමාජිකයන් ලෙස විසි දෙලක්ෂයක පිරිසක් සිටිතී. මෙහිදී සාමාජික ගිණුම් යනු ඔබ යම් ආයතනයක දින තුනක් සේවය කළඳ, ඉන් ලබන තෙදින වැටුපෙන් 3% ක මුදලක් මෙම අරමුදලට බැර වී සැකසෙන ගිණුමයි.
සක්‍රීය සාමාජිකයන් ලෙස හඳුන්වන්නේ දැනට කලක පටන් සේවය කරමින් වැටුපෙන් 3% ක මුදලක් මෙම අරමුදලට බැරවෙමින් තිබෙන සාමාජිකයන්ය. මෙම සාමාජිකත්වය ලැබීමත් සමගම ඔඛෙන් සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලට බැර වන මෙම මුදල නිසා වසර අවසානයේ පොලී මුදලක්ද, ලාභාංශයක්ද ගිණුමට එකතු වේ.
ඊට අමතරව සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල හරහා ඔබට තවත් ප්‍රතිලාභ 10 ක් ලබාගත හැකි වේ.
01. ස්වයංක්‍රීය ජීවිත රක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය (රු. 100,000.00)
02. නිත්‍ය දුබලතා රක්ෂණ වන්දි ප්‍රතිලාභ (රු. 200,000.00)
03. හදවත් සැත්කම් සඳහා මූල්‍යාධාර ලබාදීම (රු. 150,000.00)
04. වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් සඳහා මූල්‍යාධාර ලබාදීම (රු. 150,000.00)
05. අක්ෂි කාච පැළඳීම සඳහා මූල්‍යධාර ලබාදීම (රු. 180,000.00)
06. පහ වසර ශීෂ්‍යත්ව සමත්වන දූ දරුවන් 7,000 කට රු. 150,000.00 බැගින් ශිෂ්‍යත්ව පිරිනැමීම
07. රෝහල්ගත වෛද්‍ය වියදම් ප්‍රතිපූර්ණය කිරීම (රු. 25,000.00)
08. වියන නිවාස ණය යෝජනා ක්‍රමය (රු. 100,000.00 සිට රු. 1,500,000.00 දක්වා)
09. උසස් පෙළ සමත් දූ දරුවන් 5,000 කට ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් රු. 12,000.00 බැගින් මූල්‍යාධාර ලබා දීම.
10. නිත්‍ය දුබලතාවට පත්වන සාමාජිකයන්ගේ 5 වසර ශිෂ්‍යත්වය සමත්වන දූ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම.
කෙසේ නමුත් සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල ලබාගැනීම යනු, යම් ආකාරයකට කරදරකාරී කටයුත්තක් යැයි ඇතැමෙක් සිතති. මේ නිසාම ඒ පිළිබඳව මූලික දැනුමක් ලබා අවශ්‍ය මුදල් ලබාගැනීමට මෙම ආයතනය වෙත පැමිණිම ඔබගේ කාලය ඉතිරි කරගැනීමක් වනු ඇත.
ඔබට ETF (සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල) ලබා ගැනීමට අවශ්‍ය නම් අදාළ කාර්යාලය වෙත පැමිණ මුදල් ලබාගැනීමට පහසුකම් සලසා ඇති අංශයෙන් ඉල්ලුම්පතක් ඉල්ලා එය ඉතාම පැහැදිලිවත්, නිවැරදිවත් (නිවැරදි අක්ෂර හා දත්ත සමගින්) පුරවා එම අංශය වෙත භාර දෙන්න. ඔබේ දත්ත නිවැරදිව පුරවා ඇත්නම් උපරිම සති තුනක කාලයක් ඇතුළත අදාළ මුදල ලබාගත හැකිය.
එසේත් නැතිනම් නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලය වෙත පැමිණ අදාළ අංශය වෙත රුපියල් 1,000 ක මුදලක් ගෙවා එක් දිනක් ඇතුළත අදාළ මුදල ලබාගැනීමටද පහසුකම් ඇත.
යම් ලෙසකින් ඔබේ මුදල් දත්ත වල අක්ෂරවලින් හෝ විස්තර ලෙසත් නිවැරදි විය යුතු නැත් ඇතොත් ඒ වෙනුවෙන් ඔබට යම් කාලයක් කැපකිරීමට සිදුවේ. උදාහරණයක් ලෙස නිශාන්ත ලෙසින් සඳහන් නම සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ නිශ්ශංක ලෙසින් හෝ නිසාන්ත ලෙසින් එක් අක්ශරයකින් හෝ සදොස් වී ඇති නම් එය නිදොස් කර ගැනීමට ඔබ දිවුරුම් ප්‍රකාශයක් රැගෙන යා යුතුය. එවිට අදාළ කටයුතු නැවත පැමිණිමකින් තොරව සිදු කරගත හැකිය.
මෙම කටයුතු සිදුකරගැනීමට ඔබට නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලයටම යා යුතු නැත. දැන් මහනුවර, ගම්පහ, කුරුණෑගල, මාතර යන ප්‍රදේශවලද පිහිටි කාර්යාලවලට පැමිණ මෙම කටයුතු සිදුකරගත හැකි වේ.
ඔබට සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල ලබා ගත හැකි අවම කාලසීමාව වන්නේ වසර පහකි. වසර පහක්වත් ආයතනයක සේවය කර ඉන් ඉවත්ව ඇත්නම් එම මුදල ඔබට අවශ්‍ය නම් නැවත ලබාගත හැකිය. නමුත් ඔබ එම මුදල ලබා නොගනී නම් අරමුදලේ තිබෙන තුරු පොලී මුදලක් එකතු වීම ඔබට අවාසිදායක තත්වයක් විය හැකිය.
ඔබට වසර පහක් එක් ආයතනයක සේවය කර ඉන් එකතු වූ අරමුදල නැවත ලබාගත්තද, මීළගට සේවය කිරීමට යන නව රැකියාව තුළින්ද ඔබට සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලට මාස්පතා 3% ක මුදල් ලෙසින් එකතු වී නැවත අරමුදල අලුතින් සැකසීම සිදුවේ.
මෙම අරමුදල අදාළ වකවානුව තුළදී ලබාගැනීමට දැන් අදාළ ශාකා වෙත නොයා අන්තර්ජාල ඇසුරින් ලබාගැනීමටද පහසුකම් සලසා ඇත. ඒ අනුව අන්තර්ජාලය හරහා ලබාගන්නා අයදුම්පත් පුරවා යවා කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව හා ලංකා බැංකුව යන බැංකු තුළ ගිණුම් හිමියන්ට එම ගිණුමට සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල බැර වන සේ සලසා ගත හැකිය.
වැඩි විස්තර සඳහා 0112 - 368917 අමතන්න.
ප්‍රධාන කාර්යාලය - 08 වැනි මහල, කම්කරු දෙපාර්තමේන්තුව, නාරාහේන්පිට
මීළඟ ලිපියෙන් පොලී හා ලාභාංශ සහිතව සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ ශේෂය ලබා ගත හැකි ආකාරය පිලිබදව දැනුවත් වෙමු.