පුත්‍රයා විසින් මුගුරකින් පහරදී තම මව ඝාතනය කිරීමේ සිද්ධියක් මොරවක කොඩිකාරගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා.
අප වාර්තාකරු සඳහන් කළේ පෙරේදා (03) රාත්‍රී සැකකාර පුත්‍රයා බීමත්ව පැමිණ තම මවට පහරදී ඇති බවයි.
සැකකරුගේ දරුවන් තිදෙනා එය වැළැක්වීමට උත්සාහ කළ ද සාර්ථක වී නොමැති බව සඳහන්.
මෙලෙස මරණයට පත්වී ඇත්තේ කොඩිකාරගොඩ උඩකොරටුව ප්‍රදේශයේ පදිංචිව සිටි 83 හැවිරිදි තිදරු මවක්.
ඇය සිය පුත්‍රයා සහ ඔහුගේ දරුවන් තිදෙනා සමග එකම නිවසක වාසය කර තිබෙනවා.
සැකකාර පුත්‍රයාගේ බිරිඳ මීට මාස 10 කට පමණ පෙර ඔවුන් අත්හැර ගොස් ඇති බවටයි හෙළිවී ඇත්තේ.
මෙම පුද්ගලයා සෑම දිනකම පාහේ බීමත්ව පැමිණ පදිංචිව සිටින ඉඩම තම නමට ලියාදෙන්නැයි ඉල්ලා මවට තර්ජනය කරමින් පහරදෙන බව අසල්වාසීන් ප්‍රකාශකර තිබෙනවා.
ඊයේ රාත්‍රියේ ද සිය මවට සැකකරු එලෙස පහරදී ඇති අතර ඔහුගේ වැඩිමහල් දරුවා පියාව අල්ලා කාමරයකට දමා දොරගුලු දමා ඇතැයි සඳහන්.
කෙසේවෙතත් සැකකරු පොරොවකින් ගසා දොරගුලු විවෘත කර නිවසේ බඩු බාහිරාදියට ද අලාභ හානි සිදුකර තිබෙනවා.
සැකකරුගේ දරුවන් අසල්වාසීන්ගෙන් උදව් ඉල්ලා සිටිය ද සෑම දිනකම පාහේ එවැනි සිදුවීම් අදාළ නිවසේ සිදුවන බැවින් ඔවුන් එය තැකීමක් කර නැහැ.
දරුවන් සඳහන් කර ඇත්තේ අලුයම් කාලය වන තෙක් පියා විසින් මිත්තණියට පහරදුන් බවයි.
ඊයේ (04)පෙරවරු 11.30 පමණ වන තෙක් මහලු කාන්තාවගේ තොරතුරක් නොමැති වීම හේතුවෙන් අසල්වාසීන් විසින් කළ සොයා බැලීමකදීයි ඇයගේ මළ සිරුර හමුවී ඇත්තේ.