ලෝකය පුරා ජනප්‍රිය ක්‍රීඩාවක් ලෙස කුලප්පු ගවයන් මෙල්ල කිරීමේ ක්‍රීඩාව හැඳින්විය හැකිය. ලෝකය පුරා ජනප්‍රිය මෙම ක්‍රීඩාව ඉන්දියාවේ හඳුන්වන්නේ ජල්ලිකට්ටු යන නමින්.
මෙම ක්‍රීඩාවේ ඇති භයානකකම සහ සත්ත්වයින්ට හිංසාවක් සිදු වීම නිසා සත්ත්වවේදීන් විසින් මෙම ක්‍රීඩාව සිදු කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් තහනම් නියෝගයක් ලබාගෙන තිබුණා.
එහෙත් තමිල්නාඩු ජනයාගේ විරෝධය මත එහි මහ ඇමති ඕ. පනීර් සෙල්වම් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් සිදුකරන ලද ඉල්ලීමකින් පසු මෙම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අවලංගු කර තිබෙනවා.
මෙම ක්‍රීඩාවේදී සිදුවන්නේ "කන්ගායම්" වර්ගයට අයත් පුෂ්ටිමත් ගවයෙකු කුලප්පු කොට ජනතාව අතරට යවා උගේ මොල්ලියෙන් අල්ලා මෙල්ල කිරීමට උත්සාහ කිරීමයි. එසේම ඒ සඳහා ඉදිරිපත් විය හැක්කේ එක් වරකට එක් පුද්ගලයෙකු පමණයි.
මෙහිදී ගවයා කුලප්පු කිරීමට උල්කටුවලින් ඇනීම, මධ්‍යසාර පෙවීම වැනි හිංසාකාරී ක්‍රියාවන් ද සිදුකරයි. ඇතැම්විට මෙම ගවයින්ගේ අං අතර රතු පැහැති කොඩියක් හෝ මුදල් හෝ රත්තරං එල්ලා ඇති අතර ඒවා හිමිකර ගැනීම සඳහා ඌ කෙසේ හෝ මෙල්ල කළ යුතුය.
වසරකට වරක් තමිල්නාඩු ප්‍රාන්තයේ පොංගල් උත්සවය නිමිති කොට ගෙන පැවැත්වෙන මෙම ක්‍රීඩාව සඳහා මෙවර මෙරට ප්‍රබල ඇමතිවරයෙක් ද සහභාගී වී තිබෙනවා. ඒ ඌව පළාත් සභා අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් මහතායි.
එහිදී ඔහු විසින් තරඟාවලියට ඉදිරිපත් කළ ගවයා ජයග්‍රහණය කිරීම නිසා තොණ්ඩමන් මහතාට වටිනා මෝටර් රථයක් සහ ගවයෙකු දිනාගැනීමට හැකිවී තිබෙනවා.