ප්‍රදේශයේ නිවසක එළියේ තිබුණ මඩුවක් ආසන්නයට හඳුන් දිවියකු පැමිණීමත් සමඟ ප්‍රදේශවාසීන් අතර දැඩි නොසන්සුන්තාවක් හටගෙන තියෙනවා. මීට පෙර වගා කටයුතු සිදුකර පසුව අතහැර දමා තිබූ භූමියක වැවී තිබූ රම්පේ පඳුරු සහ තණකොළ අතර මේ හඳුන් දිවිය සැඟවී සිට ඇති බවයි දැන ගන්නට ලැබෙන්නේ..
අද (12) උදෑසන 6.00ට පමණ එම ස්ථානයට පැමිණ ඇති මේ දිවියා දීර්ඝ වේලාවක් කිසිදු චලනයකින් තොරව එම ස්ථානයේ රැඳී සිටීම හේතුවෙන් නිවැසියන් මෙන්ම අවට ප්‍රදේශවාසීන්ද බියට පත් වෙලා තියෙනවා.
කොහොම වුණත් මේ ආරංචිය සැලවීමත් සමඟ විශාල පිරිසක් එම ස්ථානයට රැස්ව හඳුන් දිවියා එළවා දැමීමට උත්සාහ කරලා තියෙනවා. තත්ත්වය පාලනය කිරීම සඳහා හැටන් පොලිසියේ නිලධාරීන්ද එම ස්ථානයට පැමිණ තිබෙන බවයි වාර්තා වෙන්නේ.
රැස්ව සිටි ජනතාවගේ ශබ්ද හේතුවෙන් බියට පත්වූ හඳුන් දිවියා පෙරවරු 11.00ට පමණ එම ස්ථානයෙන් පිටවී නිවස ආසන්නයේ පිහිටි ඇළ මාර්ගය දෙසට ගමන් කරලා තියෙනවා.
වනජීවී නිලධාරීන් පෙන්වා දෙන්නේ වන සතෙකු ජනාවාස ආසන්නයට පැමිණි අවස්ථාවක එය වටකරමින් හෝ ශබ්ද කරමින් පලවා හැරීමට උත්සාහ කිරීමෙන් සත්ත්වයා කලබල වී මිනිසුන්ට පහරදීමේ අවදානමක් පවතින බවයි.
එබැවින් මෙවැනි අවස්ථාවල ජනතාව එම ස්ථානයෙන් ඉවත්ව ආරක්ෂිත දුරකින් සිටීම වැදගත් බවද වනජීවී නිලධාරීන් අවධාරණය කරනවා.