ඊජිප්තුවේ අතිශය ජනප්‍රිය රූපවාහිනී නිවේදිකාවක වන 39 හැවිරිදි සාරා කලීෆා (Sarah Khalifa) ඇතුළු 12 දෙනෙකුට එරට අධිකරණය විසින් ඊයේ පෙරේදා අතිශය දැඩි තීන්දුවක් ප්‍රකාශයට පත් කළා. ඒ තමයි ඔවුන් සියලු දෙනාටම මරණ දඬුවම නියම කිරීම!
සාරා කලීෆා කියන්නේ අපරාධ ගැන කතා කරපු ‘Mission Impossible’ කියන සුප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහන මෙහෙයවපු නිවේදිකාව. හැබැයි තිරය පිටුපස ඇය කරලා තියෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් භයානක වැඩක් බවයි එරට ආරක්ෂක අංශ පවසන්නේ. විදේශයන්ගෙන් මත්ද්‍රව්‍ය හදන අමුද්‍රව්‍ය ආනයනය කරලා, ඒවා බෙදාහරින සංවිධානාත්මක පාතාල කල්ලියක ප්‍රධාන සාමාජිකාවක් ලෙස ඇය කටයුතු කර ඇති බවයි ‘අල්-අහ්රම්’ පුවත්පත සඳහන් කරන්නේ. ඊට අමතරව නීති විරෝධී ගිනිඅවි සහ පතොරම් ළඟ තබා ගැනීමේ බරපතළ චෝදනාත් ඇයට එල්ල වුණා.
මෙම නඩුව විභාග වෙද්දී නිලධාරීන් භාරයට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 750කටත් අධිකයි! සාක්ෂිකරුවන් 20 දෙනෙකුගේ ප්‍රකාශ, වීඩියෝ දර්ශන සහ හඬපට ඇතුළු නොබිඳිය හැකි විද්‍යුත් සාක්ෂි රැසක්ම ඇයට විරුද්ධව අධිකරණයට ඉදිරිපත් වෙලා තිබුණා.
කොහොම වුණත් තමන් කිසිම වරදක් නොකළ බව කියන සාරා කලීෆා අධිකරණය හමුවේ කියා සිටියේ, "මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේදී ෆොටෝ එක ගන්න කලින් මම ජීවිතේට කුඩු ඇහැකින්වත් දැකලා නෑ" කියලයි. ඒත් අවසානයේ ඊජිප්තු ග්‍රෑන්ඩ් මුෆ්තිවරයාගේ ආගමික අනුමැතියත් එක්කම අධිකරණය තීන්දු කළේ ඇයට සහ ඇගේ කල්ලියට එල්ලුම් ගස් යන්නට නියෝග කිරීමටයි.
ඇම්නෙස්ටි වාර්තාවලට අනුව මරණ දඬුවම අකුරටම ක්‍රියාත්මක වෙන ඊජිප්තුවේදී, අපරාධකරුවන්ව රටට පෙන්නපු නිවේදිකාවකටම මේ විදිහට එල්ලුම් ගහ හිමිවීම මුළු මැදපෙරදිගම දැඩි ආන්දෝලනයකට ලක් කර තිබෙනවා.