මේ අනතුර මොනතරම් දරුණුද කියනවා නම්, අනතුරෙන් පසු ඒ තරුණයාගේ මුහුණ පවා හඳුනාගත නොහැකි ලෙස තුවාල වී තිබූ බවයි වාර්තා වෙන්නේ.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ ඇත්පිටිය පන්සල පාරේ පදිංචිව සිටි දිනේෂ් චාමර නැමැති අවිවාහක තරුණයෙක්. එදා සවස 6.20 ට පමණ දිනේෂ් තමන්ගේ මිතුරෙකු වූ ප්‍රමෝද්ගේ අධිවේගී යතුරුපැදිය පැදීමට ඇති ආශාව නිසා එය ඉල්ලාගෙන තිබෙනවා. "මගේ බයික් එක ස්පීඩ් කරන්න පුළුවන් එකක්, ඒක පදින්න ආසයි කියලා දිනේෂ් ඉල්ලුවා" යනුවෙන් ප්‍රමෝද් මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් පවසා තිබුණා.
දිනේෂ් බයික් එක අරන් විනාඩි කිහිපයක් යන්නත් මත්තෙන් ඔහුගේ සහෝදරයා වූ ශ්‍රීමාල්ට දුරකථන ඇමතුමක් ලැබෙනවා. ඒ, "දිනේෂ් මල්ලි බෝවල පාරේ ලයිට් කණුවක හැපිලා වැටිලා ඉන්නවා" කියලා. වහාම එතැනට දිවගිය පිරිසට දැකගන්න ලැබුණේ ඉතාම සංවේදී දසුනක්. පාර අයිනේ තිබූ ඉලුක් ගාලක විදුලි කණුවක් අසළ දිනේෂ් ලේ විලක් මැද වැටී සිටි අතර, ඔහුගේ යතුරුපැදිය මීටර් 20 ක් පමණ ඈතට විසිවී තිබුණා.
මේ අනතුර සිදුවන අවස්ථාවේ යතුරුපැදියේ පිටුපස ගමන් කළ 21 හැවිරිදි පසිඳු සඳරුවන් නැමැති තරුණයාද බරපතළ තුවාල ලබා තිබෙනවා. ඔහුව වලස්මුල්ල රෝහලෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට මාරු කර යවා තිබෙනවා.
පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවී තිබෙන්නේ අධික වේගය නිසා යතුරුපැදිය විදුලි කණුවේ ගැටීමෙන් හිස් කබලට සහ මොළයට සිදුවූ බරපතළ හානි මරණයට හේතුවී ඇති බවයි. වලස්මුල්ල පොලීසිය මේ වන විට අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.