රටට සේවයක් කළ නිලධාරියෙකුගේ නික්මයාම ගැන මේ ඇසෙන්නේ දුක්බර කතාවක්.
"තාත්තේ නැගිටින්න… තාත්තෙ තාත්තා ඔහොම ඉන්නකොට මට දරාගන්න බෑ තාත්තේ… අම්මේ තාත්තට නැගිටින්න කියන්න.. අම්මේ ඇයි තාත්තා ඔහොම නිදාගෙන ඉන්නේ.." යනුවෙන් විලාප දෙමින් හඬන්නේ පසුගියදා රිය අනතුරකින් මියගිය එගොඩඋයන පොලිසියේ රථ වාහන අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නිශාන්ත රෝහණ ද සොයිසා මහතාගේ දියණිය චමෝදි සොයිසායි. ඇය සිය පියාගේ දේහය වැළඳ ගනිමින් විලාප දෙන්නීය..
28 වැනිදා රාත්‍රි 8 පමණ වන විට මොරොන්තුඩුව තරුණ සේවා මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසට අප යන විටත් දේහය රැගෙන විත් නොතිබුණි. ඔහුගේ අකල් වියෝවෙන් කම්පාවට පත්ව සිටි පවුලේ සාමාජිකයින් මෙන්ම, පොලිස් නිලධාරීහු සහ ප්‍රදේශවාසීහු විශාල පිරිසක් නිවසට රැස්ව සිටියා.
දේහය නිවසට රැගෙන විත් පහළ මහලේ සාලයේ තැන්පත් කිරීමෙන් පසු විනාඩි පහකින් ඉහළ මහලේ සිට තවත් තරුණ දියණියන් දෙදෙනෙකුගේ වාරුවෙන් පහලට පැමිණි උප පොලිස් පරීක්ෂක රොහණ සොයිසා මහතාගේ දියණිය සිය පියාගේ දේහය දෑතින් වැළඳ ගනිමින් විලාප දෙන්නට වුණා.
ඇයගේ විලාප හඬ ඉවසාගත නොහැකිව බොහෝ දෙනකු කඳුළු සලනු දැකගත හැකිවුණා.
“තව ටිකකින් මම ගෙදර එනවා කියා පෙරේදා රෑ කිව්ව මහත්තයාට ගෙදර එන්න වුණේ මිනී පෙට්ටියකින්” සොයිසා මහතාගේ බිරිඳ කියනු ඇසුණේ එපමණයි.
සමකාලීන පොලිස් නිලධාරියකු සඳහන් කළේ, සොයිසා මහතා තව අවුරුදු දෙකකින් විශ්‍රාම ගැනීමට නියමිතව සිටි බවත්, නීතිය අකුරටම ක්‍රියාත්මක කළ නිලධාරියකු බවත්ය. ඔහුගේ වියෝව පොලිස් දෙපාර්තමේන්තුවට බරපතළ පාඩුවක් බවත් ඔහු පැවසුවා.
“අනේ නැන්දේ තාත්තට ඇහෙන්නෙ නැද්ද? ඇයි එයා එහෙම ඉන්නේ..
නැගිටින්නේ නැතුව. එයා මාව වඩාගන්නේ නැද්ද?” නැවතත් දියණිය විලාප දෙන්නීය.
ඉන්පසු ඇය සිය පියාගේ මුහුණට මුහුණ තබාගෙන පැය භාගයක පමණ කාලයක් සිටින දුර්ලභ දසුන දෙස නිවසේ රැඳී සිටි සියලු දෙනා විමතියට පත්ව බලා සිටියහ. පසුගිය 26 වැනිදා රාත්‍රි මොල්ලිගොඩ කන්දකඩේ මාර්ගයේ දී සිය යතුරුපැදිය පාපැදියක ගැටී සිදුවූ රිය අනතුරකින් එම ස්ථානයේදීම සොයිසා මහතා මියගොස් තිබුණා.
හිසට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් අභ්‍යන්තර ඉන්ද්‍රීන්වලට හානි සිදුව අධික ලේ වහනයෙන් සිදුවූ මරණයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇති අතර ඒ මහතාගේ අවසන් කටයුතු අද (29 දා) පස්වරු 4ට වාද්දුව ශුද්ධාත්ම දෙව්මැදුරට අයත් සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතයි.
