යූටියුබ් (YouTube) සහ නෙට්ෆ්ලික්ස් (Netflix) වැනි ප්‍රබල තරගකරුවන්ට සාර්ථක මුහුණ දීමේ අරමුණින්, ස්පොටිෆයි සමාගම වීඩියෝ නිර්මාණකරුවන් සඳහා පනවා තිබූ මුදල් ඉපයීමේ නිර්ණායක (Thresholds) සැලකිය යුතු ලෙස ලිහිල් කර තිබෙනවා.
පසුගිය වසර පහ ඇතුළත පෝඩ්කාස්ට් කර්මාන්තය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 10කට අධික මුදලක් ආයෝජනය කර ඇති බවත්, වීඩියෝ පෝඩ්කාස්ට් නරඹන පිරිස මේ වන විට දෙගුණයකින් පමණ වර්ධනය වී ඇති බවත්, එම සමාගම සඳහන් කරනවා.
මීට පෙර පැවති දැඩි නීති ලිහිල් කරමින්, දැන් වඩාත් කුඩා නිර්මාණකරුවන්ට පවා සුදුසුකම් සපුරා තිබේ නම් ස්පොටිෆයි හරහා මුදල් ඉපයිය හැකියි.
ඒ අනුව, පළ කළ යුතු කථාංග සංඛ්‍යාව 12 සිට 03 දක්වා අඩු කර ඇති අතර, කාලය (පසුගිය දින 30 තුළ) පැය 10,000 සිට පැය 2,000 දක්වාත්, සක්‍රීය ප්‍රේක්ෂක පිරිස 2,000 සිට 1,000 දක්වාත් අඩු කර තිබෙනවා.
ස්පොටිෆයි සිකමෝර් ස්ටුඩියෝ (Spotify Sycamore Studios) ලෙස බටහිර හොලිවුඩ් හි අති නවීන වීඩියෝ පෝඩ්කාස්ට් ස්ටුඩියෝවක් විවෘත කර ඇති අතර, එය තෝරාගත් නිර්මාණකරුවන් සඳහා ලබා දීමට නියමිතයි.
අප්‍රේල් මාසයේ සිට නිර්මාණකරුවන්ට තම වීඩියෝ තුළ පළවන අනුග්‍රාහක දැන්වීම් (Host-read sponsorships) වඩාත් පහසුවෙන් පාලනය කිරීමට නව මෙවලම් හඳුන්වා දෙනු ලබන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
ඉදිරියේදී Acast, Audioboom සහ Libsyn වැනි වෙනත් වේදිකා හරහා පෝඩ්කාස්ට් පළ කරන අයට ද, නැවත අප්ලෝඩ් කිරීමකින් තොරව ස්පොටිෆයි හරහා මුදල් ඉපයීමට (Monetize) අවස්ථාව ලැබෙනවා.
ස්පොටිෆයි පෝඩ්කාස්ට් අංශයේ ගෝලීය ප්‍රධානී රෝමන් වසන්මුලර් (Roman Wasenmuller) පවසන්නේ, ස්පොටිෆයි පරිශීලකයින් දැන් පෙරට වඩා දෙගුණයක් වීඩියෝ වැඩසටහන් නරඹන බවයි.