මෛත්‍රී බෝධි සත්ත්වයන් නියත විවරණ ලැබීම, ප්‍රථම ධර්මදූත කණ්ඩායම (60) ධර්ම ප්‍රචාරණයෙහි යෙදවීම, තුන් බෑ ජටිලයින් දමනය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කිරීම, දෙව්ලොව සිට මිනිස් ලොවට වැඩමවීමෙන් පසු දේවාවරෝහණ දේශනාව පැවැත්වීම, මහා සංඝයා වහන්සේ පසුවස් පවාරණය සිදුකිරීම සහ කඨින චීවර පූජාව කළ හැකි අවසාන පොහොය දිනය ආදී සිදුවීම් ඉල් පුන් පොහොයේ වැදගත් සිදුවීම් අතර වනවා.
මේ අතර ඉල් පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් හිරු මාධ්‍ය ජාලය සැදැහැ සිතින් සංවිධාන කරන හිරු සීල පාරමිතා වැඩසටහන ගිරාඳුරුකෝට්ටේ ශ්‍රී ධර්මෝදය මහා පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මේ වනවිට ක්‍රියාත්මකයි.
උවැසි උවැසියන් අෂ්ඨාංග ශීලයේ සමාදන් කරමින් හිරු සීල පාරමිතාව අද උදෑසන 06.00ට ආරම්භ වුණා.
උදෑසන 07.30ට පෝදා ධර්ම දේශනය, පූජ්‍ය කොත්මලේ කුමාරකාශ්‍යප ස්වාමින් වහන්සේ විසින් සිදු කිරීමට නියමිතයි.
“ජීවිතය සරු කරන සාරධර්ම” තේමා කරගත් විශේෂ ධර්ම සාකච්ඡාවක්ද පෙරවරු 08.30 සිට පැවැත්වෙන්නේ පූජ්‍ය නාපටවෙල ධම්මානන්ද ස්වාමීන් වහන්සේ, මහාචාර්ය ප්‍රදීප් වීරසිංහ සහ ජ්‍යොතිර්වේදී සුනිල් ගම්ලත් සහභාගීත්වයෙන්.
අනතුරුව පෙරවරු 11.00ට කාව්‍යමය ධර්ම දේශනාව කාව්‍ය විශාරද පූජ්‍ය මහබුලන්කුළමේ ගුණරතන ස්වාමීන් වහන්සේ විසින් සිදු කිරීමට නියමිතයි.
පස්වරු 03.30ට නියමිත ධර්ම දේශනාව පූජ්‍ය මැදිරිගිරියේ සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනවා.