පිරිමි පුද්ගලයින් දෙදෙනකුව බියවද්දා ජංගම දුරකථනයකින් ඔවුන්ගේ නිරුවත් ඡායාරූප ලබාගෙන ඒවා අන්තර්ජාලයට මුදාහරින බව පැවසූ හතර දෙනෙක් පිළිබඳව පුවත් පිංදෙනිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
එසේ නොකිරීමට නම් රුපියල් ලක්‍ෂයක කප්පම් මුදලක් ලබාගැනීමටද ඔවුන් කටයුතු කරමින් සිට ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.
පිංදෙනිය - පැල්පිට ගම්මානයේදී පසුගිය දිනක සිදු වී ඇති මෙම සිද්ධියට පසුව කප්පම් මුදලින් අඩක් එනම් රුපියල් පනස්‌දහසක් ද මේ වන විට අයකරගෙන ඇති අතර ඉතිරි මුදල් ගැනීමට යැමේදී එක් සැකකරුවකු පිංදෙනිය පොලිසියේ නිලධාරීන් කණ්‌ඩායමක් විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව සිද්ධිය අනාවරණය වූ බව ද වාර්තා වෙනවා.
එමෙන්ම මීට පෙර ලබාගත් රුපියල් පනස් දහසක මුදල ඊට එක් වූ සිව්දෙනා අතර බෙදාගත් බව ද සිද්ධියට අදාළ ඡායාරූප ඔවුන්ගේ ජංගම දුරකථනවල තැන්පත්ව ඇති බව ද පොලිස් පරීක්‍ෂණවලින් පසුව අනාවරණය වී තිබෙනවා.
අත්අඩංගුවට පත් එම සැකකරු කෑගල්ල මහෙස්‌ත්‍රාත්වරයා ඉදිරියට පත්කිරීමෙන් පසුව රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට ද අනෙක් සැකකරුවන් තිදෙනා ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට ද නියෝග කර ඇති බවට වාර්තා වෙනවා.