උන් එතනිනුයි මේ විප්ලවය පටන් ගන්නේ....
“ඔයා කියන කතාව මට තේරෙනවා... එත් මට තේරෙන්නේ නැති තැන් බොහෝමයක් තියනවා..” රුවී බොහෝම පරිස්සමින් ඒ ගැහැනියට ඇහුම්කන් දෙනවා. හරි වේගෙන් ඇසි පිය හෙළන ඇය වෙලාවකට තමන්ගේ දෑත් යුගලය එකට එක්කහු වෙච්චි යකඩ ගුලි දිහා විස්සෝපෙන් බලනවා. මේ තමයි ඇය අන්තිමට නවතින තැන. ඇගේ විප්ලවයේ අවසානය................
ඉතිව් එහෙව් ගැහැනියකගේ අකුරක් හෝ වෙනස් නොකරපු සත්යය කතාව මේ........................

“මිස්.. මිස් හිතන්නේ මම මේ ලෝකෙට ආවේ මොන හේතුවකට කියලාද? එක්කෝ මේ ජීවිතේ නිකන්ම ගෙවලා දාන්න. මට ඕනි වුනේ කවදහරි ගුවන් සේවිකාවක් වෙන්න... ගමේ හිටපු ලස්සනම කෙල්ල මම.. අවුරුදු කුමාරි වුනා හතර පාරක්ම... කෑගලු දිස්ත්රික් අවුරුදු කුමාරි කියලා මට නම වැටුනේ එහෙමයි.. හැබැයි ඒ අවුරුදු කුමාරිට මෙහෙම වෙලා කියලා හුඟක් උන් දන්නේ නැතුව ඇති...” ඇය යකඩ යදම්-වලින් මිදෙන්න උත්සහා ගන්නවා. ඇගේ නාස් පුඬු මොකද්දෝ දෙයක් හොයනවා. එක්කෝ ආගන්තුක සුගන්ධයක්.. (ඒක අතීතයේ ඉඳන් එන එකක් වෙන්න පුළුවන්.)
“ඇයි ඔයා මහත්තයාව මැරුවේ ඔයාගේ..?” රුවී හෙමින් ඇහුවා. ඈ හිනාවුණා.
“මහත්තයා... මහත්තයා නොවෙයි ඕකා.. අනේ සමාවෙන්න මිස්.. මම කැමති නෑ කුණුහරප කියන්න... මට ඒ මිනිහාව හම්බුනේ ප්රොපසල් එකකින්.. ස්කූල් කාලේ මම යාළුවෙලා හිටපු කොල්ලා දුප්පත්... ඌට ගෙදරින් කැමති වුනේ නෑ.. ඌ නිසා මට ක්ලාස් ගමනත් තහනම් වුනා. මගේ තාත්තා නපුරු රාක්ෂයෙක්... අන්තිමේ මට ගෙදරට කොටු වෙන්න වුනා.........”
“ගැහැනියක් තනි වෙනවා...?”
“තනි වෙනවට වඩා වේදනාව මොකද්ද දන්නවද? ගැහැනියෙක් කවදාවත් කැමති නෑ තමන්ගේ මතිමතාරන්තර වෙනස් කරන්න. මිස් මම වුනත් එහෙමයි... මම හිතුවක්කාර වුනා. ඒක ඉවර වුනේ මගේ තාත්තා වහ බොනවා කියලා තර්ජනය කළාට පස්සේ. අන්න එහෙමයි පිරිමි කියන අවලං ජාතිය අපිව පාලනය කරන්න ගන්නේ. උන් මේ ලෝකෙට බණ කිව්වට ගැහැනුන්ව සෙල්ලම් බඩු වගෙයි පාවිච්චි කරන්නේ..”
ඇය දැන් කේන්තියෙන්. ඈ වෙව්ලන්න ගන්නවා වේගයෙන්. මේ තමයි ඒ බිහිසුණු කතාව පටන් ගන්න තැන.... ඇය චෝදනා පත්ර ගොනු කරන්නේ තමන්ගේ පියාගේ ඉඳලා හැම පිරිමි එකාලටම.!! ඇගේ ජීවිතේ නැති භංගස්ථාන කරපු....................
“ඌ විකෘතිකයෙක්.. ඌට තිබුණේ නරුම ආසාවල්...!! මම මගේ අම්මටයි තාත්තාටයි කිව්වා ඌ ගැන... ඒත් විශ්වාස කළේ නෑ. මොකද මගේ දෙබිඩි පිරිමියා ඒ තරම් හොඳින් රඟපෑවා. මම එයාට ඇකැමැතියි කියලා එයා අම්මලාට කියලා අනුකම්පාව දිනාගත්තා. අන්තිමට මොකද වුනේ...? මම තනිවුනා. දන්නවද ඌට ඕනි මිස් මා එක්ක යහන්ගත වෙන්න නෙවෙයි. ඊට වඩා එහා ගිය මිස්ට මට කියන්න බැරි තරමේ විකෘති දේවල් අත්හදා බලන්න.. හරියට මම උගේ යාළුවා එක්ක ඉන්නවා බලන්න ඌ ආස උනා.. කොහොමත් මම ආසම කරපු පිරිමියා නෙවෙයි ඒ.. මගේ තාත්තා මාර රත්තරන් පාත්තයෙක් කියලා බන්ඳලා දීපූ උපාසක මහත්තයා. ඕක තමයි උගේ රංගනය...”

“ඔයාට අනියම් සම්බන්ධයක් තිබුණා...?” ඒ රුවී. ගැහැනිය වියරු වැටෙනවා. (දැනටම ඇය එහෙමයි.)
“රෙද්දක් තිබුණා. අම්මපා මිස් රටේ ලෝකේ උන් කියන පළියට ඕවා පිළිගන්නවද? අර පොලිසියේ එකාලා උන්ට ඕනෑ හැටියටනේ පැමිණිලි ලියන්නේ.. නැතුව සිද්ධ වෙච්ච දේවල් නෙවෙයිනේ... මට තිබ්බ අනියම් මඟුලක් නෑ... මට ඕනි වුනා මේ විකෘති මාර පුත්රයාව අන්තිම ගමනට යවන්න.. ඒකට මම අඬගැහුවේ ජගත්ට... ජගත් එක්ක මගේ කිසි සම්බන්ධයක් තිබ්බේ නෑ.. ඌ බාස් කෙනෙක් හැටියට අපේ ගෙදර ආවේ ගියේ.. ඒ දවස්වල මායි මිනිහායි අතරේ නොහොඳ නෝක්කාඩු කියලා ඌ හොඳටම දැනන් හිටියා..”
ගැහැනු වියරු වැටුණම... උන් කරන්න කියන්න ගන්න දේවල් හිතාගන්නවත් බැරි තරමේ දේවල්........! එක්කෝ උන් මේ මුළු ලෝකෙම එක අත් මිටකින් ගුලි කරන්න දඟලනවා. එහෙම නැත්තම්... ඒ ලෝක ගෝලේ දෝත බදා හුස්ම හිර කරවන්න හදනවා. එහෙමයි ඒ ගැහැනු පළිගන්නෙ... උන්ගේ වියරුව ලෝකෙට පෙන්වන්නේ...
මේ තමයි ඒ ගැහැනිය... විකෘති ආශා පුරෝගත්තූ සැමියෙක් වෙනුවෙන් එඩිතර තීරණයක් ගත්තූ...

“මම ජගත්ට කොන්ත්රාත් එක දුන්නා මිනිහාව මරන්න... ජගත් ලක්ෂ 5යි ඉල්ලුවේ.. මම තුනක් තුන්නා ඇඩ්වාන්ස් විදිහට.. මේ මරණේ කරන්න ඕනි වුනේ මමවත් ජගත්වත් නොගෑවෙන විදිහට.. ඒ නිසාම මට මගේ මිනිහා එක්ක ටිකක් හොඳ මූඩ් එකේ ඉන්න ඕනි වුණා... අපි ප්ලෑන් කළේ අපි මේකෙන් බේරිලා වෙන මහත්තයා එක්ක තරහා බිස්නස්කාරයෙක්ව වැඩේට අහුකරන්න. ඒත් බැරිවුණා....”
සැලසුම් සහගත තැන් දාහක් තිබුණත්.. ඒ සැලසුමේ අඩු ලුහුඬුකමුත් තිබුණා. ඉතින් මේ ගැහැනිය ඔය අත් යුගළයක් යකඩ දම්වැලකින් ඔතාගෙන ඉන්නේ ඒ හේතුව උඩ... ඒත් ඈ ඉන්නේ හරිම සතුටකින්...
“මගේ මිනිහා කොහොමත් දිව්ය ලෝකේ යන්නේ නෑ. ඌ දැන් ඇත්තේ අපායේ.. දෙයියනේ...!! මට මැවිලා පේනවා ඕකව අර ලෝදිය හැලියේ ගිල්ලවනවා. ඌ මට කරපු ඒවාට.. මං වගේම තවත් ගෑනුන්ටත් කරන්න ඇති. ඌට ඒවා පළිසන් දෙයි.. මට දුකක් නෑ මම කොහේ ගියත්... මට මිනිහා මැරුව එක ගැන පුදුම තරම් සතුටුයි...”
ඒ ගැහැණිය අවසානයට එළියට බැස්සේ එහෙම කියන ගමන්... ඉතින් රුවී මුකුත් නොකියා හාප්ෂිප් කොළ දුසිමක් මගේ අතේ තිබ්බා.
“ඒ කතාව.. එතනින් ඉවරයි...”
(මෙහි එන කාන්තාව සිර දඬුවමකට යටත් කෙරුණු අතර, ඇය තමන්ගේ සැමියාව එලොව යැවීමට “කොන්ත්රාත්තුවක්” බාර දුන් බව උසාවියේදී පිළිගත්තා. ජගත් නම් වූ අය මිනීමැරුම යන චෝදනාව යටතේ ජිවිතාන්තය දක්වා සිරගත කිරීමට නියෝග ලැබී තිබුණා. රුවී සොයුරියට ස්තුතියි.!)
ශරීරයට දැඩි වේදනා දී ලිංගික තෘප්තිය ලැබීමේ මෙම ක්රියාවලිය හඳුන්වන්නේ, පරපීඩා කාමුකත්වය ( #Sexual_Sadism ) ලෙසයි.
මෙවැනි තත්ත්වයක පුද්ගලයන් ලෛංගික තෘප්තිය ලබන්නේ ලිංගික සංසර්ගයේදී අනෙකාට නින්දා කිරීම, පහර දීම, තුවාල කිරීම , ගැට ගැසීම ආදියෙනි. මෙම තත්ත්වය අවසානයදී කාමුක මිනීමැරුමක් ( #lustmurder ) දක්වා වුවත් දුරදිග යා හැක.
මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා ස්ව ‘ශ්රී ලංකාවේ ගණිකාවෝ’ පර්යේෂණ කෘතියේදි මෙවැනි තත්ත්වයන් රැසක් හෙළි කර ඇත.